අයවැය ගැන මහ ඇමතිවරු කතා කරති
අයවැය යෝජනාවලිය සම්බන්ධව පළාත් කිහිපයක ප්‍රධාන අමාත්‍යවරු බස්නාහිර ප්‍රධාන අමාත්‍ය නිල නිවසේදී අද (10දා) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වීය.ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගි වීමට ප්‍රථම මෙම හමුව සිදුවූ අතර, එහිදී ඔවුන් දැක්වූ අදහස් පහතින් දැක්වේ.
උතුරු මැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා,
"පළාත් සභාවට දෙන මුදල් වෙනම වැය ශීර්ෂයක් යටතේ ලබාදිය යුතුයි කියා අපි සියලුදෙනාම ඒකමතිකව ඉන්නවා. එහෙම නැතිව වැඩකරගෙන යන්න අමාරුයි. විමධ්‍යගත කළ බලය රේඛීය අමාත්‍යාංශයට මෙම මුදල් දැමීම නිසා නැවත සංකේන්ද්‍රගත කිරීමක් වෙනවා. එහෙම රේඛීය අමාත්‍යාංශයේ ශීර්ෂ යටතේ දාන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන නැහැ. හැම අවුරුද්දකම වෙනම වැය ශීර්ෂයක් යටතේ විසර්ජන පනතින් පළාත් සභාවලට මුදල් ලබාදී තිබෙනවා"
සබරගමුව ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා,
"ප්‍රධාන අමාත්‍යවරු 09 දෙනාම මේ කාරණයේදී එකට ඉන්නවා. පළමු රැස්වීමේදී ජනාධිපතිතුමා මේ කාරණාව තේරුම් අරගෙන තිබුණු ක්‍රමයට මේ කාර්යය ඉෂ්ට කරන්න කියලා ඒ වේලාවේම නිලධාරීන්ට උපදෙස් දුන්නා. උතුරු පළාත් මහ ඇමති විග්නේෂ්වරන් මහතාත් අපි සමග ඉන්නවා."
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා,
"ජනාධිපතිතුමා පැහැදිලිව උපදෙස් දුන්නා පරණ මුදල් විසර්ජනය කළ ආකාරයට මුදල් විසර්ජනය කරන්න කියලා. රජයේ ප්‍රතිපත්තිය පළාත් සභා ශක්තිමත් කරන එක කියලා එතුමා පැහැදිලිව ප්‍රකාශ කළා. ඒනිසා අපිට ජනාධිපතිතුමා ගැන දැඩි විශ්වාසයක් තියෙනවා. මුදල් බලය පළාත් සභාවලට නොදෙනවානම් ආණ්ඩුකාරවරු පත්කිරීමේ තේරුමකුත් නැති වෙනවා. ජනාධිපතිතුමා පවා එක්තරා විදියකට හෑල්ලුවීමකට ලක්කිරීමක් වෙනවා. පළාත් සභාවලින් මූල්‍ය බලය උදුරා ගන්නවා නම් ආණ්ඩුව හා මුදල් අමාත්‍යාංශය කරලා තියෙන මේ වැඩේ බරපතළ ලෙස ව්‍යවස්ථාව උල්ලංඝනය කිරිමක් ලෙස සැලකිය හැකියි. මෙතැනදී අපිට අසාධාරණයක් වෙනවා නම් ප්‍රධාන ඇමතිවරු සියලු දෙනා අධිකරණයේ පිහිට පතන්න සූදානමින් ඉන්නවා"
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා
"ජනාධිපතිතුමා ආදර්ශයක් දීලා තියෙනවා තමන්ගේ බලය පවා දීලා එතුමාගේ මතය තියෙන්නෙත් බලය විමධ්‍යගත කිරීම කියන එක. මෙවර සිදුවෙලා තියෙන්නේ බලය කේන්ද්‍රගත වීමක්. එවිට ප්රතිපත්තීන් අතර ගැටුමක් නිර්මාණය වෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් දිස්ත්‍රික්ක ලේකම්වරුන්ට සල්ලි එවලා කටයුතු කරනවා වගේ පළාත් සභාවලට එහෙම කරන්න බැහැ. ඒ නිසා තමයි වෙනම ශීර්ෂයක් යටතේ මෙතෙක් කල් මුදල් වෙන් කළේ"
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා
"සමස්ත පළාත් සභාවලට මේ පිළිබඳව විරෝධයක් තියෙනවා. මම ඊයේ දකුණු පළාත් සභාවේ මුදල් ප්‍රකාශය ඉදිරිපත් කරන්න පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කීවේ පළාත් සභාවල බලතල අඩුවෙන් කිසිම ක්‍රියාවලියකට සහාය දක්වන්න එපා කියලා. ඔවුන් මගෙන් විශේෂ ඉල්ලීමක් කළා මේ පිළිබඳ අවසන් තීන්දුවක් ලැබෙනතුරු මුදල් ප්‍රකාශය ඉදිරිපත් කරන්න එපා කියලා. තමන්ගේ දේශපාලන ක්‍රමය තුළ හැමදාමත් පළාත් සභා ක්‍රමයට ගරු කළ ශක්තිය ලබාදුන් මිත්‍රශීලී ප්‍රතිපත්තියක් දක්වපු ජනාධිපතිතුමා පළාත් සභාවලට සාධාරණයක් කරාවි කියලා අපි හිතනවා. අපි ඉදිරිපත් කරන්නෙ ප්‍රතිපත්තිමය කාරණයක්. අපි කිසිම කාරණයකදී සර්ව සුභවාදීව හෝ අසුභවාදීව බලන්නේ නැහැ. අපි මධ්‍යස්ථව බලන්නේ. අයවැයේ ගැටලු සහගත තැන් වගේම සාධනීය ලක්ෂණත් තියෙනවා"
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
