වත්මන් ආණ්ඩුව සංවර්ධන කටයුතු නවත් තිබෙන බවත්, මහ බැංකුවේ සිදු වූයේ වංචාවක් නොව මංකොල්ලයක් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
අනුරාධපුර සල්ගදු ක්‍රීඩාංගණයේදී පැවැති සන්ධානයේ මංගල රැළිය අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.
"අද හැම වැඩක්ම නවත්තලා.මේ අය දින 100ක් ඇතුළත කරපු වැඩවලට එක්සත් ජාතික පක්ෂයේ නායකයා වගකිව යුතුයි. යූ.ඇන්.පී. නායකයායි මහ බැංකු අධිපතියි කරපු වංචාව නිසා. තවඅවුරුදු ගාණකට මේ රටේ ජනතාවට හිස ඔසවන්න බෑ. මහ බැංකුවේ වංචාවක් නෙමෙයි මංකොල්ලයක්.
අපි ජයග්‍රහණය වගේම පරාජයේ වගකීමත් ලබා ගන්න ඕන. අපි අලුතෙන් හිතන මිනිසුන් ලෙස තමයි ඔබ අතරට එන්නේ. අලුත් නායකයෝ හඳනවා. ජාත්‍යන්තර සමබඳතා ගොඩනගනවා. හැම ජාතියක් එක්කම සංහිදියාව ඇති කරනවා.
ආගම ඇදහීමේ නිදහස ලබා දෙනවා. අපි අතර අන්තවාදියෝ නෑ. පරණ අය ඔක්කොම ඉන්නේ ඒ පැත්තේ. අද යූ.ඇන්.පී. එකත් එක්ක එකතුවෙලා ඉන්නේ ඒ අය. අපි ආර්ථිකය ගැන අලුතෙන් හිතනවා.
පුතේ දුවේ ඔබේ අනාගතය තියෙන්නේ රනිල්ගේ අතේ නෙමෙයි අපේ අතේ. අපිත් එක්ක එන්න. අපි ආවම 18 සපුරන සියලු තරුණයන්ට සුරක්ෂිත අනාගතයක් හදනවා. ඉගෙන ගත්ත ළමයට රස්සාව දීම රජයේ යුතුකමක්.
අපි කොත්තමල්ලි බජට් හදපු අය නෙමෙයි. අපි ජනතාවට මැතිවරණ කාලේදීවත් කොකා පෙන්නුවේ නෑ.
මැතිණියගේ දරුවෝ මැතිණියගෙන් යන කොට මේ දරුවා තමයි මැතිණියත් එක්ක හිටියේ.
බුදු හාමුදුරුවන්ගේ බණ පදයකින් මට මහා සැනසීමක් ලැබුණා. කළ ගුණ දන්න බොහෝ පිරිස් ඉන්න බව දන්නවා. මේ මාතෘභූමියට නැවතත් පණදෙමු"