ප්‍රධාන ජලාශවල වැව් බැමි කැඩී යනු ඇතැයි යම් සංවිධානාත්මක පුද්ගලයන් පිරිසක් විසින් කටකතා පතුරුවා ජනතාව බියවැද්දීමේ ව්‍යාපාරයක් ගෙන යන බව අනුරාධපුර දිස්ත්‍රික් කලාප වාරිමාර්ග අධ්යක්ෂ ලලිත් ද අල්විස් මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ අද (25දා) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමිනි.
ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"අපගේ නිලධාරීන් දිවා රාත්‍රී දෙකෙහිම සේවක මණ්ඩලය යොදවමින් සහ මෙහෙයුම් මැදිරිය පැය තුනෙන් තුනට පවතින ජල මට්ටම් හා වැව් බැමි පිළිබඳ වාර්තා අධ්‍යයනය කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැනට මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ කිසිදු ජලාශයක් අවදානම් තත්වයක නැහැ. පවතින කාලගුණයේ වෙනසක් ඇති වුවහොත් පමණක් අවදානමක් ඇති විය හැකියි. ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සූදානම්ව සිටිනවා" යනුවෙන් සඳහන් කළේය.