අධික ණය තිබුණත් සහන දුන්නා
- 28 12 2016
- 12:07
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ශ්‍රී ලංකා ආර්ථිකයට දරා ගත නොහැකි ණය බරක් තිබියදී පවා ජනතාව වෙනුවෙන් සහන ලබාදීමට ගතවූ වසරේදී රජයට හැකියාව ලැබුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
නව අවුරුදු පණිවුඩය නිකුත් කරමින් ඔහු පවසන්නේ දූෂණය අවමකිරීම, 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කිරීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකිරීම ගතවූ කාලසීමාවේදී රජය ලබාගත් ජයග්‍රහණ බවයි.
රටක් ලෙස ඉදිරියට යෑමට විශාල කාර්යයක් පවතින බවත් ඒ සඳහා ජනතාවගේ සහාය අවශ්‍ය බවත් සිය අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයෙන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනය
නව වසර එළඹෙනුයේ, වත්මන් යහපාලන රජය බලයට පත් වී වසර දෙකක් සම්පූර්ණ වීමත් සමඟය. මෙම දෙවසර තුළ රටක් ලෙස අප අගනා ජයග්රහණයන් රැසක් ලබා ඇත. එසේම ප්රජාතන්ත්රවාදී සදාචාර සම්පන්න, දියුණු රටක් ලෙස ඉදිරියට යාමට නම් තවදුරටත් ඉටුකළ යුතු සුවිශාල කාර්යභාරයක් අප ඉදිරියේ ඇත.
ප්රජාතන්ත්රවාදය වළපල්ලට දමමින් විධායක ජනාධිපති ධූරය ඒකාධිපති බලයක් කරා රැගෙන ගිය 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවලංගු කරන්නට හැකි වීම අප ලද විශාල ජයග්‍රහණයකි. එසේම අප රට සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පැවති මතභේදකාරී, අඳුරු වටපිටාව සමනය කරගනිමින් සුහදශීලී ජාත්‍යන්තර සබඳතා යළි ගොඩනගා ගන්නට හැකි වීම අනාගත අභිවෘද්ධිය උදෙසා සුබදායී වනු ඇත.
මානව පැවැත්මට එරෙහි අපරාධ, නාස්තිය, දූෂණය අවම කරගන්නට හැකි වීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමට හැකි වීම, තොරතුරු පනත සම්මත කරගන්නට හැකිවීම, මාධ්‍ය නිදහස ඇති කිරීම, රටේ ආර්ථිකයට දරා ගත නොහැකි මට්ටමේ ණය බරක් පැවතියදී පවා ජනතාවගේ ජීවන අරගලයට සහන ලබා දීමට හැකි වීම, දේශපාලන ස්ථාවරභාවය තහවුරු කරමින් ආර්ථික සංවර්ධනයට අඩිතාලමක් සැකසිය හැකි වීම ආදී වශයෙන් අප ලද තවත් ජයග්රහණයන් රැසකි.
රටේ සංවර්ධන ක්‍රියාදාමය සහ යහපාලනය බිඳ දැමීමට අදූරදර්ශී, නොමනා බලවේග රැසක් ක්‍රියාත්මක වන වටපිටාවක ස්ථාවර ආර්ථිකයක්, සංහිදියාව සහජීවනය ජයගත් මානව හිතවාදී සමාජයක් ශක්තිමත්ව ගොඩනැගීමට සමස්ත ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය වේ.
ඒ සඳහා පුළුල් ආකල්ප වෙනසක් සමඟ කැපවන්නට 2017 නව වසර ධෛර්යවන්ත වසරක්ම වේවායි ප්‍රාර්ථනය කරමි. ඔබ සැමට සියලූ යහපත් අරමුණු සාක්ෂාත් වන සුභ නව වසරක් වේවා !
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
