තමා අගමැති වුවහොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඉතා සමීපව කටයුතු කිරීමට සූදානම් බවත් තමා කිසිදු විටක කොටි සංවිධානයට මුදල් නොදුන් බවත් හිටපු ජනාධිපති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඊයේ පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් හමුවෙමින් පැවති සාකච්ඡාවේදී හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ මේ දිනවල කතා බහට ලක්වන වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධ පරීක්ෂණ ස්වාධීනව කළ යුතු බවත් තමන් මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුවද එම පරීක්ෂණ සිදු කිරීමට ක්‍රියා කරන බවත් ඔහු පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා,
'සන්ධානය මේ මැතිවරණයේ ආසන 113 කට වඩා ගන්නා බව සෑම සමීක්ෂණයකින්ම අනාවරණය වෙනවා. ඒත් ඒ විශ්වාසය නැති එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් ගැන කතා කරනවා. ඔවුන් එතැනින්ම පරාජය බාර ගෙන ඉවරයි'
'කොටින්ට මුදල් දීලා හිතවත් කම්පෑවා නම් ඊට අවුරුදු 3 කට පස්සේ කොටියා අවසන් කරන්න බෑ. මේ ගැන ප්රභාකරන් කිව්වා කියලා තමයි කියන්නේ. දැන් ප්රභාකරන් නැති නිසා අහන්නත් බෑනේ. මම හැම රජයක්ම කොටියා එක්ක ගනුදෙනු කළ හැටිත් කොටියට කිට්ටු වුණු අයට අත්වුණු ඉරණමත් මම දැන ගෙන හිටියා.'
මැතිවරණ ප්රකාශනයේ ඇති පොරොන්දු ඉටු කර ගන්නේ කෙසේදැයි නැගුණු ප්‍රශ්නට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ 2005 දීත් මෙවැනිම කතා පැවසූ බවයි. තමන්ට එය කළ හැකි බවද ඔහු පැවසීය. ජනවාරි 08 වැනිදා දක්වා ගම නැගුම දිවි නැගුම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති 58000 ක් නතර වූ බවද පැවසීය.
'08 වැනිදා දක්වා සංවර්ධනය කරන්න සල්ලි තිබුණා 09 වැනිදා ඉඳලා සංවර්ධනයට සල්ලි නෑ කියනවා. මේ සල්ලි වලට මොනවද වුණේ. මේ සංවර්ධනය නවත්තලා ඍජු හා වක්‍ර රැකියා ලක්ෂ 15 ක් පමණ නැති වුණා.'
මේ දිනවල චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නගන චෝදනා සම්බන්ධයෙන් තමා පිළිතුරු දීමට නොයන බවත් ඒ හරහා තමන්ගේ ඡන්ද ප්‍රමාණය වැඩි වන බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 2005 සිට චන්ද්‍රිකා මැතිණිය අන්‍යාකාරයෙන් උදව් කළේ රනිල් වික්‍රමසිංහ මහතාට බව සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී චෝදනා කළේය.
'ඒක පෙර ආත්මයේ සිට එන ප්‍රශ්නයක්. ඇය පක්ෂයේ හිටියත් එකයි නැතත් එකයි..' යැයි ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ තමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග ඉතාම සුහදව කටයුතු කිරීමට සූදානම් බවයි. එසේම මෙම මැතිවරණයෙන් පසු තමාට අගමැති ධුරය ලබා නොදෙන බව කියැවෙන කතා බොරු කතා බවද තමා අගමැති වීමෙන් පසු ආයෝජකයන් රට හැර යන බවට එ.ජා.පය කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඔහු පැවසීය.
'අපේ කාලේ තමයි ආයෝජකයෝ ආවේ. දැන් යනවා. දැන් පාතාලය ගෙනැල්ලා තියනවා. ආයෝජකයෝ යවලා පාතාලේ ගෙනැල්ලා... කොහොමද?'
වසීම් තාජුදීන් ඝාතන සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,
'දේශාපලඥයෝ විවිධ චෝදනා කරනවා. හැබැයි මම මේ සිද්ධියේ දී අපේ අත්වල ලේ තැවරිලා නැති බව දන්නවා.මෙය සම්පූර්ණයෙන්ම ගොතපු සිද්ධියක්. හැබැයි මේක පරීක්ෂණය කරන්න ඕනි. මේක මිනිමැරුම් චෝදනාවක් නිසා මෙය පරීක්ෂණ කළ යුතුමයි. එත් චෝදනා කරන අය ගැන මම වැඩිය කතා කරන්න කැමති නෑ.මොකද එයාලගේ ඇහේ තියන මෝල්ගහ එයාලට පේන්නෙ නැහැනේ. හරියට මැතිවරණ කාලයේ දීම මෙය ඇවිත් ගොඩනගපු හැටි දෙස බලනවිට දේශපාලනීකරණය වෙලා කියලා හිතීම බැහැර කරන්න බෑ' යැයි පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා සීපා වෙළඳ ගිවිසුම අත්සන් කරන බව පවසන බවද එසේ වුවහොත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදකයා සහ ආයෝජකයාදැඩි අසීරුවට වැටෙන බවද මෙහිදී අදහස් පළ විය. එසේම මෙරට රැකියා වෙළඳපොළ ඉන්දියාව ආක්‍රමණය කරන බවද ආර්ථිකය ඉන්දියානු කරණය සිදුවන බවද රැකියා ලක්ෂ 10 ක් ඇති වීම නොව රැකියා අහිමි විය හැකි බවද අදහස් පළ විය. මහබැංකු බැඳුම්කර සිදුවීමේ දී අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් බලපෑමක් කර ඇති බව කෝප් වාර්තාවෙන් පැහැදිලි වන බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී හෙළි කළේය. මෙය නිලධාරියෙකුගේ වංචාවක් නොවන බවත් සැලසුම් සහගත ලෙස මෙය සිදු කර ඇති බවත් ප්‍රේමජයන්ත මහතා මෙහිදී චෝදනා කළේය. බැඳුම්කර බිලියනයක් වෙන්දේසියට යෑමට සැරසුන විට එය බිලියන 20 ක් කිරීමට නියෝග ලැබුණ බවත් නිලධාරීන්ගේ බලපෑම නිසා එය බිලියන 10 ක්ව ඇති බවත් පැවසීය. එසේම බැඳුම්කර වෙන්දේසියට පෙර ඇමතිවරු දෙදෙනෙක් සහ එ.ජා.ප සභාපතිවරයා මහ බැංකුවට ගොස් ඇති බවත් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
මෙම අවස්ථාවට අනුර ප්‍රියදර්ශන යාපා, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, ටිරාන් අලස්, රාජීව විජේසිංහ යන හිටපු මන්ත්‍රීවරුද බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල සහ නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර යන මහත්වරුද සහභාගී වූහ.