හෝමාගම සිදුවීමේදී හා ඇඹිලිපිටිය සිදුවීමේදී මාධ්‍ය ආකාර දෙකකින් හැසුරුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ඇඹිලිපිටියේදී අධිකරණයේ පැත්ත ගත් මාධ්‍ය, හෝමාගම සිදුවීමේදී අධිකරණයේ පැත්ත නොගත් බව ඔහු අද (28දා) පාර්ලිමේන්තුවේදී කීවේය.
මෙය මහින්ද රාපක්ෂ කල්ලියේ වැඩක් බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
පොලීසිය සම්බන්ධයෙන් ගැටලු පවතිනබවත්, එම ගැටලු අවසන් කර පොලීසිය නවීකරණය කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එසේම වර්තමානයේ ඇතැම් මාධ්‍ය දඩයමේ යන අතර, ඇතැම් මාධ්‍ය ජාතිවාදය ඇතිකිරීමට උත්සාහ කරන බවද අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,
"පොලීසිය ගැන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඇඹිලිපිටියේ සිද්ධියේ ලැබුණ පරස්පර වාර්තාත් තිබුණා. මොකක්ද සිදුවුණේ කියලා බලන්න අපි දැන් උසාවියට බාර දුන්නා. ලෝකේ හැමතැනම පොලීසි ගැන ප්‍රශ්න තියෙනවා. පොලීසිය කියන්නෙ නීතිය සාමය ආරක්ෂා කරන්න තියෙන ආයතනයක්.
පොලීසියේ අඩුපාඩුකම් වුණාම ප්‍රශ්න ඇතිවෙනවා. ඇඹිලිපිටිය සිද්ධිය හා කොටදෙණියාවේ මේ ළඟදි ප්‍රශ්න ඇති වුණා.පොලීසිය වරදක් කරලා තියෙනවා නම් ඒක වහන්න අපට වුවමනා නැහැ. අප මෙතනට සටන් කරලයි ආවේ නීතිය රජකරන්න. එතැනදි අඩුපාඩු හොයන්න තියෙනවා.
නීතිය රජකරන්න පොලීසිය, අධිකරණය, මාධ්‍ය කියන ආයතන තුනම ඕන. ගිය අවුරුදු දහයේදී රාජපක්ෂ රෙජීමය යටතේ මේ ආයතන තුනම නැති කළා. ඒවට විරුද්ධව අපි සටන් කළේ. දැන් ඒවා හදාගෙන යන්න තියෙනවා. කාරක සභා ඇතිකළාම ඒ ගැන තව කතා කළ හැකියි. පොලීසියෙ අඩුපාඩු තියෙනවා. ඒවා නවීකරණය කරන්න ඕන. පඩි වැඩිකරන්න ඕන. අපට නවීන පොලීසියක් ඕන. දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සෙ ආසියාවේ හොඳම පොලීසිය තිබුණෙ ලංකාවේ. මොකද්ද අපට වුණේ? මේ ඔක්කොම නැති කළා.
හමුදාව දාලා පොලීසිය දාලා මිනිස්සු මැරුවා කියනවානම් ඒ ගැන අපට හොයන්න තියෙනවා. ඇඹිලිපිටිය ගැන උසාවියෙන් කතා කරන්නේ. කවුද මේ තීන්දු දෙන උසාවිය. අද අපි අත්පුඩි ගහන අධිකරණය. ඒ අධිකරණයට බලපෑම් තිබුණා. අධිකරණය, පොලීසිය නිවැරදිවීම ඇතුළෙන්ම වෙන්න ඕන.බුද්ධි අංශයෙන් ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවෝ සිරිකොත ඇතුළේ ගෙනත් දාපුවාම තව මොනවද කතා කරන්නේ. මට ගහන්න කියලා මිනිස්සු ගෙනාවනේ. පොලීසියත් දැනගත්තා ඒක වැරදියි කියලා. ඒකයි ජනවාරි 08 වැනිදා පොලීසියේ බහුතරයක් අපිත් එක්ක එකතු වෙලා මේක එපා කිවුවෙ. දැන් ඒ පොලීසිය හදන්න උදව් කරමු.
අධිකරණයේ අඩුපාඩු පෙන්වලා හදන්න ඕන. අපේ මැති ඇමතිවරු පොලීසියට අරන් ගියා. අපේ මන්ත්‍රීතුමිය ගෙනිච්චා. කමක් නෑ අපි ඔක්කොම නිවැරදි වෙමු. ඒවා වෙද්දි පොලීසියට විරුද්ධව දඩයමේ යන්න විතරක් එපා. දඩයම කරන්නේ වෙන කවුරුවත් නෙමෙයි, මාධ්‍ය. දැන් ඇඹිලිපිටිය සිද්ධියේදී බලකළා කිවුවා මාධ්‍යවේදීන්ගේ කටු සටහන් ගන්න. කවුද මේ ජයන්ත නානායක්කාර කියන්නේ. එක්නැළිගොඩ නැති කළාම කොහෙද හිටියේ. ලසන්ත වික්‍රමතුංග මරද්දි ජයන්ත නානායක්කාර කතාකළාද? ජයන්ත නානායක්කාර කාගේ සාක්කුවේද හිටියෙ කියන්න. ඒ කාලේ එයා දඩයමේ ගිය කෙනෙක්.
ඕක සිදුවුණානම් මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කරපු මාධ්යවේදියෙකුගෙනුයි, සිවිල් සමාජයේ අයෙකුගෙනුයි නීතියේ කෙනෙකුයි හොයාගන්න. ඒ අය වැරදියි කියනවා නම් මම එන්නම් පොලීසියට. මම ඒ පැත්ත ගන්නම්. උසාවියට යනකොට යන්න ඕන තමන්ගේ අත් පැහැදිලි කරගෙන.
කර්තෘ සංසදය......, දෙයියෝ සාක්කි. උදයන් එකට ගහද්දි කර්තෘ සංසදය මොකද්ද කළේ. ඔය අය උසාවි යනවා නම් අපිත් උසාවි යන්නම්. මම දිවුරුම් පෙත්සමක් දෙන්නම්. එක් කර්තෘවරයෙක් ඉන්නවා එක මාධ්‍යවේදියෙකුට විරුද්ධව කේලම් කියලා සුදු වෑන් එකකින් උස්සගෙන යන්න ආවා. මම මැදිහත්වෙලා බේරාගත්තා. මමත් දන්නවා අනිත් කර්තෘත් දන්නවා. දේශයේ නාමයෙන් ඕක සුද්ද කරන්න. යන්න උසාවියට අපිත් යන්නම්. ඒ අයගේ අත් සුද්ද නෑ. දඩයමේ යන්න එපා. එච්චරයි මම කියන්නේ. ඒකට මම විරුද්ධයි. පොලිස් කොමිසමයි, පොලීසියයි එකට එකතුවෙලා වැඩ කරන්න ඕන. දැන් ඇඹිලිපිටිය අධිකරණයට අත්පුඩි ගහනවා. හෝමාගම අධිකරණය යටත් කරන මාධ්‍යයක් අපට වැඩක් නෑ. තමුන්නාන්සේලා හෝමාගම සිද්ධිය ගැන එක කතුවැකියක් අද ලියලා තියෙනවද? කී වැනිදාටදදිවයින ලියන්නේ?කීවැනිදාටද අද ලියන්නේ?කීවැනිදටද රිවිර ලියන්නේ? ලක්බිම ලියන්නේ?
තමුන්නාන්සේලා ජාතිවාදය ගැන මොකක්ද කියන්නේ. හැම පත්තරේකටම මම කියනවා,තමුන්නාන්සේලා මොකක්ද හෝමාගම අධිකරණය ගැන කියන්නේ. කතුවැකියක් ලියන්න. බෞද්ධයෝ හැටියට අපටත් අයිතියක් තියෙනවා බුද්ධාගම ගැන කතාකරන්න.
අපි හැමදාම කිවුවෙ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. මහින්ද සරණං ගච්චාමි කියාපු ගිහි පැවිදිඅයට අයිතියක් නැහැ බුද්ධාගම ගැන කතා කරන්න" යැයි අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
එසේම ඕනෑ අයෙකුට මුද්‍රණාලයක් ආරම්භ කර පත්තරයක් ඇරඹිය හැකි බවත්, එය ප්‍රශ්නයක් නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා කීවේය.
විද්‍යුත් මාධ්‍ය ජනතාවට අයිති දෙයක් බවත්, එයින් ජාතිවාදය පැතිරවිය නොහැකි බවත් ජාතිවාදයපැතිරවීම් පිළිබඳව විභාග කරගෙන යන බවත් අග්‍රාමත්‍යවරයා පැවසීය.
තව සතියකින් දෙකකින් තවත් අලුත් දෑ පිටවෙනු ඇති බවත්, මාධ්‍ය සිටින්නේ කොතැනද කියා තීරණය කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.