අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබන 20 වැනිදා බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා ඊයේ (16දා) දැනුම් දුන්නේය.
ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පැහැදිලි කරගත යුතු කරුණු කිහිපයක් පැහැදිලි කර ගැනීම සඳහා වික්‍රමසිංහ මහතා මෙලෙස කොමිසමට කැඳවනු බව සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා දැනුම් දුන්නේය.
ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කොමිසම මීට පෙර අවසථාවකදී රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රශ්නාවලියක් යොමු කළ අතර ඔහු ඊට පිළිතුරු ලබා දෙමින් ඉදිරිපත් කළ දිව්රුම් ප්‍රකාශයේ සඳහන් ඇතැම් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා ඒ මහතා කැඳවීමට කොමිසම පියවර ගන්නා බව එම චිත්රසිරි මහතා දැනුම් දුන්නේය.
ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් හැර ඊට පරිබාහිර කිසිඳු ප්‍රශ්නයක් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් නොඅසන බවද චිත්රසිරි මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
2015 පෙබරවාරී 27 වැනිදා ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සිදුකිරීමෙන් අනතුරුව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතන ඇමතුමක් ලබා දුන් බවට කොමිසම හමුවේ හෙළි වු කරුණ පැහැදිලි කරන ලෙස කොමිසම තම ප්‍රශ්නාවලිය මඟින් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් බව පැවසු කොමිසමේ සාමාජික විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය දිව්රුම් ප්‍රකාශය මඟින් 2015 පෙබරවාරී 27 වැනිදා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා තමාට දුරකතනයෙන් කතා කළ බවත් ඒ අවස්ථාවේදී මෙම බැඳුම්කර වෙන්දේසියෙන් රුපියල් බිලියන 10.05ක අරමුදල් රැස්කරගත් බව දැනුම් දුන් බව පිළිගෙන ඇතැයිද සඳහන් කළේය.