කලබලකාරී ලෙස හැසිරෙමින් ගැටුමක් ඇතිකර දේපොළවලට හානි සිදුකළ පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් නීතිය නිවැරදිව ක්‍රියාත්මක කරන්නැයි දැනටමත් පොලීසියට දැනුම් දී ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19දා) පැවසීය.
ගිංතොට ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට එහි ගිය අවස්ථාවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
මෙම සිද්ධිය හේතුවෙන් හානියට පත් නිවාස හා වෙළෙඳසැල් කිහිපයක් මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය. එහිදී සිංහල හා මුස්ලිම් දෙපිරිසක් සමග අග්‍රාමාත්‍යවරයා සාකච්ඡාවක නිරත විය.
මෙහිදී අගමැතිවරයා ප්‍රථමයෙන් මහහපුගල විදානගොඩ ප්‍රදේශයේ ප්‍රහාරයට ලක්වූ නිවසක් අග්‍රාමාත්‍යවරයා විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදහස් දක්වමින් හෙතෙම මෙසේ පවසා සිටියේය.
'' ඇතැම් අය පවසනවා අපේ පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු ද මෙයට සම්බන්ධ වී සිටින බව. එවැනි අයටත් අනිවාර්යයෙන් ම දඬුවම් කළ යුතුයි. ඒ වගේ ම අපි ග්‍රාම නිලධාරීවරුන් මගින් මේ හානි පිළිබඳ වාර්තාවක් අරගෙන එය තක්සේරු කර රජය මගින් හානිය සම්බන්ධයෙන් වන්දි මුදලක් ගෙවීමට කටයුතු කරනවා. දැනට පොලිස් වාර්තා නොතිබුණා කියා කවුරුවත් කලබල වෙන්න අවශ්‍ය නැහැ.
සියලු දේ සම්බන්ධයෙන් මා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාටත්, නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතාටත් අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා. දැන් අවශ්‍ය වන්නේ මේ තත්ත්වය පාලනය කර සාමය ඇතිකරන්නයි. මේ ගමේ දෙපිරිසම සමගියෙන් ජීවත්විය යුතුයි. අපි ඒ සඳහා ඉක්මනින් අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා.
සමගිය යළි ඇතිකිරීම සිදුකරමින් යන අතර පිටතින් එන පුද්ගලයන් මේවගේ ප්‍රහාර එල්ල කිරීම වැළැක්වීම සඳහා අපි පොලිස් හා හමුදා ආරක්ෂාව යොදා තිබෙනවා. මේ ප්‍රදේශයට පමණක් අවශ්‍ය නම් ඇඳිරිනීතිය පනවන්න කියා අපි උපදෙස් ලබාදී තිබෙනවා."