චීනයේ, ග්වන්සි ප්‍රාන්තයේ, නැන්නින්ග් නගරයේදී පැවැත්වෙන චීන - ආසියාන් අපනයන ප්‍රදර්ශනය (CAEXPO) අද (13දා) තෙවැනි දිනටත් පැවැත්විණි. විශාල ජනතාවක් අද දිනයේදීද ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටියහ.
ප්‍රදර්ශනයේ විශේෂ ආරාධිත රට වන ශ්‍රී ලංකාවේ වෙළෙඳ කුටි නැරඹීමට චීන ජාතිකයන්ගේ උනන්දුව දක්නට ලැබුණු අතර, තේ, මැණික් සහ ස්වර්ණාභරණ කුටි අසල චීන ජාතිකයන් විශාල පිරිසක් දැකගත හැකිවිය. එහිදී, සිද්ධාලේප වෙළෙඳ කුටිය වෙතද වැඩි දෙනෙකු රැස්ව සිටිනු දැකගත හැකි විය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රවර්ධන කුටියද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් බෙදාදෙන ස්ථානයක් වූ අතර, ශ්‍රී ලංකා තේ, මැණික් හා ස්වර්ණාභරණ, ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා උනන්දුවන්නන් දැනුවත් කිරීම සහ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට කැමැත්තක් දක්වන චීන ජාතිකයන්ට තොරතුරු ලබාදීමද එහිදී සිදුවිය. ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා චීන ජාතිකයන්ගේ විශේෂ උනන්දුවක් ඇති බව මෙහිදී දැක ගත හැකිවිය. කෙසේ වෙතත්, පෞද්ගලික සංචාරක ආයතනවල වෙළෙඳ කුටි සීමිත වීම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අවස්ථාව සීමා වීමක් ලෙස පෙනුණි. එහෙත් ශ්‍රී ලංකා ප්‍රධාන කුටියේ කාර්යය මණ්ඩලය සිය උපරිම කැපවීම ඒ සඳහා යොදනු දැකගත හැකිවිය.
පසුගිය 11දා සවස පැවැති ශ්‍රී ලංකා අයෝජන සමුළුවේදී චීන ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳ සුවිශේෂී දැනුම්වත් කිරීම් සිදුවිය. අයෝජන සමුළුව ඇමතූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ශ්‍රී ලංකාවේ අයෝජන සඳහා ඇති ඉඩප්‍රස්තා පිළිබඳව පැහැදිලි කළේය.
සමුළුවේ පිළිගැනීමේ කතාව කළ ග්වන්සි හි ශ්‍රී ලංකා කොන්සාල් ජෙනරාල් ශානිකා දිසානායක මහත්මියගේ කෙටි දේශනය චීන ජාතිකයන්ගේ සිත්ගත් එකක් විය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා කුමුදිනී රත්නවීර, වාණිජ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ ජී.එල්. ඥානදේව, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂිකා දීර්ශිකා රණතුංග, ජාතික මොස්තර මධ්‍යස්ථානයේ අධ්යක්ෂ සුගත් චන්ද්‍රසිරි, ශ්‍රී ලංකන් සමාගමේ කලාප කළමනාකරු අසේල අඹේපිටිය, වාණිජ දෙපාර්තමේන්තුවේ වාණිජ උපදේශක රුවන්ති ආරියරත්න, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වෙළෙඳ ප්‍රවර්ධන නිලධාරීනි කුසලිකා විතානගේ යන මහත්ම මහත්මීහුද මෙහිදී ශ්‍රී ලංකාව පිළිබඳ දැනුම්වත් කිරීමේ දේශන පැවැත්වූහ. සමුළුවේ ස්තූති කතාව වාණිජ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ සෙනුජ සමරවීම මහතා විසින් සිදුකරන ලදී. මෙම අවස්ථාවට චීන - ශ්‍රී ලංකා ජනමාධ්‍ය සංසදයේ සභාපති නලීන් අපෝන්සු මහතාද සහභාගි විය.
චීනයේ, නැන්නින්ග් නුවර අද වාර්තාකරු