වේරහැර RMV කාර්යාලයේ සේවය කරන ඇතැම් නිලධාරින් හා තැරැව්කරුවන් පිරිසක් විසින් සිදු කරන නීතිවිරෝධි කටයුත්තක් සම්බන්ධයෙන් ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවිර මහතා ඊයේ (26) ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිලධාරින් දැනුම්වත් කළ බව ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.
වේරහැර RMV කාර්යාලයේ ප්‍රවාහන වෛද්‍ය අංශයේ සේවකයින් කිහිප දෙනෙක් හා තැරැව්කරුවන් කිහිප දෙනෙක් සම්බන්ධවෙමින් සිදු කරන නීතිවිරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් එහි සේවාවන් ලබා ගැනීමට පැමිණි මහජනතාව තමන් වෙත පැමිණළි කර ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදි පවසා තිබේ.
රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණවලට පෙනී සිටින පුද්ගලයින් රුධිරගත සීනි මට්ටම පිළිබඳව මෙන්ම දියවැඩියා රෝගයෙන් පෙළෙන්නේද යන්න වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු විය යුතුය. එහෙත් එම පරීක්ෂණයට පෙනී සිටින ඇතැම් පුද්ගලයින් දියවැඩියාව හා රුධිරගත සීනි මට්ටම අවම වුවද, වාර්තාව ලබා දෙමින් එහි සේවකයින් පවසන්නේ පරීක්ෂණය අසමත්වූ බවත්, සීනි නැතිබවට හෝ දියවැඩියාව නොමැතිබවට වාර්තාව ලබා දිමට නම් රු. 2000- 4000 දක්වා මුදලක් ලබා දෙන ලෙසයි.
එමෙන්ම දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකුට වුවද, වෛද්‍ය වාර්තාව දියවැඩියාව නොමැති බවට සනාථ කර ලබා ගැනීමද ඉහත කී ආකාරයටම මුදල් දි ලබාගත හැකිය.
එසේ තමන් රවටා මුදල් ලබා ගත් බව කියමින් මහජනතාව විසින් තමන්ට පැමිණිළි කර ඇතැයි කී අමාත්‍යවරයා මෙවැනි කූඨ ජාවාරම් කරන නිලධාරින් හා සේවකයින්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවත්, ප්‍රවාහන අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක වන වැටලීම් අංශයේ පවතින දුර්වලතා හා අඩුපාඩු නිසා හදිසි වැටලීම් සිදු කිරීම් පසුගිය කාලය තුළ අඩපණ ව ඇති බවත් පැවසිය.
කෙසේ වුවද, ප්‍රවාහන අංශයේ විමර්ශන අංශය තිබුණද එය පසුගිය කාලය තුළ අකර්මණ්‍ය කර ඇත. එම නිසා එම අංශය ශක්තිමත් කිරීම සඳහා වැඩපිළිවෙලවල් රැසක් තමන්ට යෝජනා කර ඇතැයිද, ප්‍රවාහන අංශයේ සේවාවන් ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් ගන්නා සේවකයින් මෙන්ම, තැරැව්කරුවන් අත්අඩංගුවට ගැනීමට උපාය දූතයින් යොදවා ඉදිරියේ දි පියවර ගන්නා බවත් පැවසීය.