2027 දී 6 හා 2 ශ්‍රේණිවලට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මකයි
සංශෝධිත ජාතික විෂයමාලා රාමුව සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයීය කාරක සභා රැස්වීමක් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සහ ජාතික අධ්‍යාපන ආයතනය (NIE) ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රවීණයෝ රැසක් සහභාගී වූහ.
අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව 2026 අප්‍රේල් මාසය වන විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව විෂය ප්‍රවිණයන්ගෙන් සැදුම්ලත් ජාතික කමිටුවක් පත් කරණු ලැබූ බවත් ඒ යටතේ ඇති ප්‍රධාන අනු කමිටු 5 ක් යටතේ මීට අදාළ උපදේශනය සහ දිශානතිය සපයන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසීය.
අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව 2026 වසරේදී 1 ශ්‍රේණිය සඳහාත්, 2027 වසරේදී 6 ශ්‍රේණිය සහ 2 ශ්‍රේණිය සඳහාත් නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා පැවසීය. මේ සඳහා අවශ්‍ය ගුරු පුහුණු වැඩසටහන්, මොඩියුල හා ගුරු මාර්ගෝපදේශ මුද්‍රණය කිරීම සහ පාසල්වල ඩිජිටල් යටිතල පහසුකම් නැංවීමේ සැලැස්ම ද ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙහිදී ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ඕ.ජී. දයාරත්න මහතා සහ අධ්‍යාපන ක්ෂේත්රයේ නිලධාරීන් විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පදනම, ජාතික විෂයමාලා රාමුව, ඇගයීම් ක්‍රමවේද සහ ඉදිරි ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව දීර්ඝ විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කෙරිණි.
2019 වසරේදී මෙම ක්‍රියාවලිය ආරම්භ වූ බවත් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් 2023 වසරේ අනුමත කරගන්නා ලද නව ප්‍රතිපත්තියට අනුව, ජාතික අධ්‍යාපන ආයතනය විසින් ජාතික විෂයමාලා රාමුව පිළියෙල කළ බවත් මෙය ආයතන ගණනාවක සාමූහික ප්රයත්නයක් බවත් ඒ මහතා සඳහන් කළේය. ලෝකයේ දියුණුම රටක ක්‍රියාත්මක වන ආකාරයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ අනුව අප රටට හඳුන්වා දෙන බවත් අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
පොදු අධ්‍යාපනයේ මූලික අරමුණ හුදෙක් වෙළඳපොළට අවශ්‍ය අනාගත ශ්‍රමිකයන් නිෂ්පාදනය කිරීම පමණක් නොවන බවත්, ආචාර ධර්ම, ගුණධර්ම සහ වටිනාකම්වලින් පිරි සාකල්‍යවාදී (holistic) පරිපූර්ණ පුරවැසියන් සහ ජාතිය ගොඩනඟන අනාගත පරපුරක් බිහි කිරීම බවත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.
දැනට පවතින විෂය අන්තර්ගතය (content-based) මත පදනම් වූ ක්‍රමය වෙනුවට ඉගෙනුම් ඵල පාදක (outcome-based) සහ ශිෂ්‍ය කේන්ද්‍රීය (student-centered) අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබේ. කටපාඩම් කර විභාග ලිවීමේ පීඩනය සහ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන බර අඩු කරමින්, සම්භාර (credit) පාදක මොඩියුල ක්‍රමයක් සහ වසර පුරා සිදුවන අඛණ්ඩ ඇගයීම් (Continuous Assessments) මගින් සිසුන්ගේ ප්‍රගතිය තක්සේරු කිරීමට නව ඇගයීම් රාමුවක් සකස් කර ඇති බවත් ඒ මහතා පැවසීය.
6 ශ්‍රේණියේ සිටම වෘත්තීය ක්ෂේත්‍ර පිළිබඳ අවබෝධයක් ලබාදීමටත්, 12 සහ 13 ශ්‍රේණිවලදී NVQ Level 4 දක්වා වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමට හෝ උසස් අධ්‍යාපනය වෙත යොමු වීමටත් හැකි වන පරිදි නම්‍යශීලී විකල්ප අධ්‍යාපන මාර්ග (Vocational Pathways) සකසා තිබේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ජනතාව, ගුරුවරුන් සහ දෙමාපියන් දැනුවත් කිරීම සඳහා "RIES" වෙබ් අඩවිය ආරම්භ කර ඇති අතර, අදියර කිහිපයක් යටතේ දිවයින පුරා දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ.
අධ්‍යාපනයේ මූලික අරමුණ විය යුත්තේ දරුවන් හුදෙක් අනාගත ශ්‍රමිකයන් බවට පත්කිරීම පමණක් නොව, ඔවුන් පරිපූර්ණ මිනිසුන් සහ වගකීම්සහගත ජාතිය ගොඩනඟන්නන් ලෙස නිර්මාණය කිරීම බව මෙහිදී අදහස් දක්වමින් ගරු අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී පැනනඟින ගැටලු පිළිබඳව පුද්ගලික මනෝභාවයන් හෝ අදහස් මත පමණක් පදනම් නොවී, විද්‍යාත්මක පර්යේෂණාත්මක සාක්ෂි (evidence) නිරීක්ෂණය කර තීරණ ගත යුතු බව ද ඇය පෙන්වා දුන්නාය.
සාකච්ඡාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කරුණු විමසමින් සිය අදහස් යෝජනා ඉදිරිපත් කළහ.
මෙම ජාතික කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා කිසිදු භේදයකින් තොරව සියලු දෙනාගේම සහය අපේක්ෂා කරන බව ද මෙහිදී අවධාරණය කෙරිණි.
ගරු අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, ව්‍යවස්ථාදායක සේවා අධ්යක්ෂ ජයලත් පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

