ජනතා විමුක්ති පෙරමුණ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ යටි අරමුණකින් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
අද (09දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
විධායක ජනපති ධුරය අහෝසි කර ජනපතිවරණ පැවැත්වීමේ අවශ්‍යතාවය නැතිකරමින් ලංකාවේ මැතිවරණ සිතියම 2025 දක්වා හකුළා දැමීමට කටයුතු කරමින් සිටින බවද ඒ මහතා මෙහිදී පැවසූයේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“ජවිපයත්, එජාපයත් එක්වී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න විසි වන සංශෝධනය ගේන්නේ 2025 දක්වා මැතිවරණ සිතියම හකුලා දැමීමේ යටි අරමුණෙන්. ජවිපෙ සහයෙන් පළාත් සභා මැතිවරණ පනත වෙනස් කරලා, කොට්ඨාස ක්‍රමය හඳුන්වා දීලා, සීමා නිර්ණය මත දාලා, පළාත් සභා මැතිවරණය නම් දින නියමයකින් තොරව කල් දා ගත්තා.
ඉදිරියේදී පාර්ලිමේන්තු මැතිවරණය ළං වන විට පාර්ලිමේන්තු කොට්ඨාස වෙන් කරන්න සීමා නිර්ණය කොමිසමක් පත්කරලා එහි වාර්තාව එනතුරු පාර්ලිමේන්තු ඡන්දයත් කල් දාන්න ලෙහෙසියෙන්ම පුළුවන්. එක පැත්තකින් පාර්ලිමේන්තු ඡන්දය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීම ජනපති සිරිසේනගේ ඡන්ද පොරොන්දුවක්.
තවත් මාස 17කින් උදාවන 2019 ඔක්තෝම්බර් මාසයේ ජනාධිපතිවරණයකදී මුළු ලංකාවම එකම කොට්ඨාසයක් වෙනවා. ඒ නිසා සීමා නිර්ණයට මුවා වෙලා කල් දාන්න බැරි එකම මැතිවරණය ජනපතිවරණයයි. ජනපතිවරණය පැවැත්වීම නවත්වා ගත්තොත් 2025වන තුරුම සීමා නිර්ණය පෙන්වමින් මැතිවරණ නොපවත්වා ඉන්න පුළුවන්. අන්න එතකොට 2025වන තුරු මේ ආණ්ඩුව පෙරළන්න බෑ කියා රාජිත ඇමතිතුමා නිතර කියන කතාව සැබෑ වෙනවා.
ජනාධිපතිවරණය කල් දාන්න ක්‍රමවේදයක් නැති නිසා තමයි ජනාධිපති ධුරය අහෝසි කරලා ජනාධිපතිවරණ පැවැත්වීමේ අවශ්‍යතාවය නැති කරගන්න උත්සාහ කරන්නේ. මේකෙන් ආණ්ඩුවට විතරක් නෙමෙයි ජවිපෙටත් වාසියක් තියෙනවා.
ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු කියලා හදිසියේ මතක් වෙලා මේ විසිවැනි සංශෝධනය ගේන්නේ එක පැත්තකින් ආණ්ඩුවේ මැතිවරණ භීතිකාවට බෙහෙතක් විදිහට. අනෙක් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණට තියෙන ලොකුම දේශපාලන හිසරදය වෙච්ච ජනාධිපතිවරණය සදහටම අහෝසි කරලා දාන්න”.