වසර 2023 වනවිට ශ්‍රී ලංකාවේ සියලුම වයස අවු 35ට වැඩි පුද්ගලයින් පරික්ෂාකර, ඔවුන්ගේ බෝ නොවන රෝග වලට ඇති අවදානම හඳුනා ගැනිමට කඩිනම් විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරිමට කටයුතු කළ යුතු බවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කර තිබේ.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවි බල ගැන්විමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීම සඳහා එහි ව්‍යාපෘති අධ්යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාගේ ද සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දි පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
ඒ අනුව දිවයින පුරා විසිරී ඇති ප්‍රාථමික සෞඛ්‍ය සේවා සපයන දහසකට වැඩි රෝහල් හා සෞඛ්‍ය ආයතන සියල්ල 2023 වන විට පරිගණක ජාලගතකරණය සිදු කිරිම සිදුවෙනු ඇත.
දැනටමත් රෝහල් ගණනාවක්ම මෙම පද්ධතියට අඩංගු කර ඇත. එසේම මෙම රෝහල් වල බෝ නොවන රෝග අවදානම හඳුනා ගැනීම පිණිස අවශ්‍ය පරීක්ෂා කිරීම මෙන්ම අවදානම අඩුකර ගැනීමට අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර සේවා ක්‍රියාත්මකය. අප රටට දැඩි තර්ජනයක් වි ඇති පිළිකා, හෘදයාබාධ, දියවැඩියාව ,අධිරුධිර පීඩනය ආදි බෝ නොවන රෝග වලට ජනතාව ලක්විමට ඇති අවදානම කල් තබා හඳුනා ගැනිමේ දීප ව්‍යාප්ත සේවාවක් දිවයිනේ ක්‍රියාත්මක වන්නේ ප්‍රථම වතාවටයි.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ප්‍රතිපාදන වෙන් කර තිබේ. ලෝක බැංකු විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මකය. වසර 2023 දී අප රටේ වයස අවු 35 ට වැඩි ජනගහනයෙන් 63% ක්, සම්පූර්ණයෙන් මෙම ආවේක්ෂණ වැඩසටහනට ඇතුලත් කර ගැනීමට හැකි වුවත්, එම ආවරණය 100% දක්වා වැඩි කිරිමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි ව්‍යාපෘති අධ්යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා වෙත එම සාකච්ඡාවේදී උපදෙස් දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.
ජනාධිපතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක නිරෝගි ඵලදායි පුරවැසියෙකු බිහි කිරිමේ ජාතික වැඩසටහනේ ප්‍රධාන වැඩ කොටසක් ඉටු කිරිමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්විමේ ව්‍යාපෘතිය සූදානම් විය යුතු බවද අමාත්‍යවරිය සඳහන් කළාය.
වස විසෙන් තොර කාබනික ආහාර වගාව ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියක් ද පාන් පිටි වෙනුවට හාල් පිටි ප්‍රචලිත කිරිමේ ව්‍යාපෘතියක් ද මෙම රෝහල් හා සෞඛ්‍ය ආයතන දහසකට වැඩි ජාලය ඔස්සේ ආරම්භ කිරිමට යෝජිතය.