2018 අයවැය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සහාය පළකිරීම පිළිබඳව ස්ථීර තීරණයක් ගෙන නැතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ, ඉලංගෙයි තමිල්අරුසකච්චි මධ්‍යම කාරක සභා රැස්වීම වවුනියාවේ පෞද්ගලික හෝටලයක පැවැති අතර, ඉන්පසුව ඊයේ (12දා) රාත්‍රියේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමන්තිරන් මහතා,
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්තාව සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒක අතුරු වාර්තාවක් පමණක් බවත් එය කෙටුම්පත් කරලවත් නැහැ කියලා අපි අපේ පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කළා. ඊට අමතරව ඉදිරියේදී පළාත් පාලන ඡන්දයක් පැමිණීමට නියමිතයි ඒ නිසා අපි ඒ ගැන ඡන්දයට ඉදිරිපත්වෙන්නේ කොහොමද කියලත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.
ඒ වගේම අපි රජයෙන් මේ පාර ඉදිරිපත් කරල තියන අයවැය සම්බන්ධයෙන් පක්ෂයක් විදිහට ස්ථීර තීරණයක් තාම අරන් නැහැ. නමුත් අයවැයෙන් සංහිඳියාව ගොඩනැගීමට සැලකිය යුතු මුදලක් වෙන් කරල තියන එක ගැන නම් අපි සෑහීමකට පත් වෙනවා පක්ෂයක් විදිහට” යැයි පවසා සිටියේය.