ගැසට් කොට ඇති කෙටුම්පතේ අඩුපාඩු හඳුනාගෙන, ඒවා නිවැරදි කොට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අගමැති පත් කළ කමිටුවේ සාමාජික, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
කමිටුවක් පත්කර එමගින් දැනට ගැසට් කොට ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි අඩුපාඩු හඳුනාගෙන, ඒවා නිවැරදි කොට නව කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී තීරණය කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
තමන් ඇතුළු පක්ෂ නායකයන්, තම කඳවුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පෙන්වාදුන්, දැනට ගැසට් කොට ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි අඩුපාඩු හඳුනාගෙන, නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම කමිටුව පත් කළ බවත් එය (15) දිනයේ රැස්වී සමාලෝචන කටයුතු ආරම්භ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
විමල් වීරවංශ ඇමැතිවරයා මේ අදහස් පළ කළේ මහ මැතිවරණයේදී තම ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ පක්ෂ ක්‍රියාකාරීන්ට තුති පිදීම සඳහා ඊයේ (12) අවිස්සාවේල්ල කොස්ගම ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
“ලැබී ඇත්තේ සුජාත ජනවරමක්. එමගින් ජනතා අපේක්ෂාවන් ඉටුකළ හැකියි. ඒ නිසා තමයි ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රාජ්‍ය පාලනයට සිදුකර ඇති අකුල් හෙළීම් ඉවත් කරන්න, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආවේ. නමුත් අපේ නම් අදහස වුණේ එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වෙනුවට කඩිනමින් පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පරිවර්තනයකට යා යුතු බවයි. ඒ කියන්නේ නව ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදිය යුතු බවයි. මේ රට බලගන්වන, රටවැසි අයිතිවාසිකම් බලගන්වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් උවමනා බවයි.
ජනාධිපතිතුමන් දැනටමත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා. ඒ අතරේ තමයි මේ ටික කාලයකට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් රැගෙන එන්නේ. එසේ රැගෙන ආ 20 වැනි සංශෝධන කෙටුම්පතේ අඩුපාඩු අද අපේ කඳවුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්ම පෙන්වා දී තිබෙනවා. අග්‍රාමාත්‍යතුමන් ඒවාට ඇහුම්කම් දීලා, ඒ 20 වැනි සංශෝධනයේ අඩුපාඩුකම් මොනවාද කියා හඳුනාගෙන, ඒවා නිවැරදි කරන්න කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ මමත් සාමාජිකයකු ලෙස කටයුතු කරනවා. ඒ මගින් අපි බලාපොරොත්තු වෙනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පෙර, පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 20 වැනි සංශෝධනයක් ගෙන එනවා නම්, පොදු ජනතාව බලාපොරොත්තු වන යහපත් අංග, රටට හිතකර අංග රැකගෙන එම සංශෝධනය ඉදිරිපත් කරන්න. අප ඒ කමිටුවේ නිර්දේශ කඩිනමින් ජනාධිපතිතුමා හා අගමැතිතුමන් වෙත ලබාදීමට සූදානම්. ඒ අනුව ඉදිරි කටයුතු සිදුවේවි.”