19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම සඳහා ඡන්දය ලබාදෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියි.
එම පක්ෂයේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (19දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේ, 19 වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සහාය හිමිවන බවයි.
“විධායක ජනපති ක්‍රමය මුළු මනින්ම මේ මොහොතේ අහෝසි කිරීම අපහසු නම්, මේ මොහොතේ කළ හැකිව තිබෙන ඒකාධිපති බලතල අඩුකිරීමයි. ඒ අනුව තමයි අපි මේ සාකච්ඡාවට මැදිහත් වුණේ. ජාතික විධායක සභාවටත් අපි අදහස් ඉදිරිපත් කළා.
විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න බැරිනම්, මේ මොහොතේ එහි කිසියම් බලතල ප්‍රමාණයක් අඩුකළ හැකිනම් ඒකත් ජයග්‍රහණයක්. ප්රජාතන්ත්රවාදය පැත්තෙන් ඒකත් ලොකු පියවරක්. ඒ නිසා මේ තිබෙන මට්ටමට හෝ 19 සම්මත කරගත යුතුයි කියලා අපි හිතනවා. 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට අපි මැදිහත් වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලින් අපි ඉල්ලා සිටිනවා 19 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට ජන්දය ලබාදෙන්න කියලා.” යැයි ලේකම්වරයා පවසා සිටියේය.