ශ්‍රී ලංකා කර්තෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව පවත්වන 16 වැනි ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ අද (28දා) ප.ව 7.00 සිට ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ ආරවුල් නිරාකරණ මණ්ඩලයේ සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවීමට නියමිතය.
2014 වසර තුළදී ක්ෂේත්රය තුළ දැක්වූ දක්ෂතා පාදක කරගනිමින් ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවේදීන් වෙත අංශ 14 ක් යටතේ මෙහිදී සම්මාන පිරිනැමේ. වසරේ හොඳම ජනමාධ්‍යවේදියා සඳහා වන මර්වින් ද සිල්වා සම්මානය, වසරේ උණුසුම් පුවත් වාර්තාකරණය, වසරේ හොඳම ගවේෂණාත්මක පුවත්පත් කලාවේදියා යන සම්මාන ඒ අතර වෙයි.
පුවත්පත් කලාව වෙනුවෙන් දීර්ඝ කාලයක් පුරා තම දායකත්වය ලබාදුන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පස්දෙනෙකු සඳහාද මෙහිදී උපහාර පිරිනැමෙන අතර, සිය සගයන්ගේ ඇගයීමට ලක්වන පුවත්පත් කලාවේදියාට හිමි ඩී.ආර්. විජයවර්ධන සම්මානය හා ශ්‍රී ලංකාවේ පුවත්පත් නිදහස ආරක්ෂා කිරීම සඳහා කැපවීම වෙනුවෙන් පිරිනැමෙන සේපාල ගුණසේකර සම්මානයද මෙහිදී පිරිනැමෙනු ඇත. බිනෝයි කුමාර වික්‍රමසුරේන්ද්‍ර, ලතීෆ් ෆාරුක්, නිහාල් රත්නායක, සරණපාල පමුණුව, එස්. තිල්ලෙයිනාදන් යන මහත්වරු මෙවර උපහාර සම්මානයෙන් පිදුම් ලබන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු වෙති.