මන්නාරම් සිලාවතුර නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසකට ඊයේ (18දා) රාත්‍රියේ සිලාවතුර අරිප්පු ගම්වාසීන් පිරිසක් පහරදී ඇති බවත්, එයින් තුවාල ලැබූ සෙබළුන් තිදෙනෙකු අසාද්‍ය තත්ත්වයෙන් මන්නාරම් රෝහලට ඇතුළත් කර ඇති බවත් සිලාවතුර පොලීසිය පවසයි.
සිලාවතුර මුහුදු තීරයෙන් අරිප්පු ප්‍රදේශයට කේරල ගංජා රැගෙන එන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදා බුද්ධි නිලධාරීන් කිහිපදෙනෙකු අරිප්පු ප්‍රදේශයට ගොස් රැකවල් යොදා සිටි අවස්ථාවේදී ප්‍රදේශවාසීන් නාවික හමුදා සෙබළුන් තිදෙනෙකුට පහරදී තිබේ.
ප්‍රදේශවාසීන් 300කට ආසන්න පිරිසක් එක්වී සෙබළුන් තිදෙනා අරිප්පු නාවික හමුදා කඳවුර ඉදිරිපිටට පහරදෙමින් රැගෙන ගොස් තිබේ. සෙබළුන් ගෙවල් මංකොල්ල කෑමට පැමිණි බව පවසමින් ඉතා උණුසුම් අයුරින් කෑගසමින් කඳවුරේ දොරටුවටද පහරදී තිබේ.
එම අවස්ථාවේදී තත්ත්වය සමථයකට පත්කිරීම සඳහා නාවික හමුදා කඳවුරෙන් උඩට වෙඩි තබා තිබේ.
වෙඩි තැබීමෙන් අනතුරුව අල්ලාගෙන සිටි නාවික හමුදා සෙබළුන් තිදෙනාගෙන් දෙදෙනෙකු ග්රහනයෙන් මිදී පලාගොස් රෝහල් ගතව තිබේ. අනෙක් සෙබළා ප්‍රදේශවාසීන් විසින් අරිප්පු කතෝලික පල්ලිය වෙතට රැගෙන ගොස් තිබේ.
එසේ රැගෙන ගිය සෙබළා නිදහස් කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර, අද (19දා) උදෑසන මන්නාරම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ මැදිහත්වීම මත ඔහුව නිදහස් කරගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සිලාවතුර පොලීසිය හා මන්නාරම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.