ඉන්දියාවේ ප්‍රධාන නගරවලින් පැමිණෙන දුරගමන් ශීඝ්‍රගාමී දුම්රිය සාංචි හි නතරකර ශ්‍රී ලාංකික බැතිමතුන්ගේ ගමන් බිමන් පහසුකරන ලෙස සාංචි විහාරවාසී භික්ෂූන් වහන්සේලා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාගෙන් ඉල්ලීමක් කරයි.
කොවිඩ් වසංගත තත්ත්වය සමග තාවකාලිකව අත්හිටුවන ලද සාංචි දුම්රිය ස්ථානයේ මගී නැවතුම යළි ආරම්භ කළ හැකි අතර ඒ ස`දහා ඉන්දීය බලධාරීන් සමග සාකච්ඡා කිරීමට සූදානම් බව මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි නිල සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සාංචි හි පිහිටි මහා බෞද්ධ ස්ථූපය වෙත ගොස් වැඳ පුදා ගත්තේය. ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ චේතියගිරි විහාරයට ගොස් වැඳ පුදා ගත් අතර පුජ්‍ය බානගල විමලතිස්ස සහ පූජ්‍ය උඩුගම තපස්සි හිමිපාණන් වහන්සේලා ගේ ආශිංසන සහිතව එහි වත්මන් තත්ත්වය නිරීක්ෂණය කර ඇත.
ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනා සංචාරකයන්ගේ පැමිණීම ආරම්භ වී ඇති අතර ඔවුන්ගේ ගමන් පහසුව ස`දහා වේගවත් දුම්රිය ඉතාම වැදගත් බව මෙහි දී පෙන්වා දුන් බානගල විමලතිස්ස හිමිපාණෝ දුම්රිය නැවතුම නැවත බලගැන්වීමේ අවශ්‍යතාව මහ කොමසාරිස්වරයාගේ අවධානයට යොමු කළහ.
පැරණි ඉන්දියාවේ වැදගත් බෞද්ධ මධ්‍යස්ථානයක් වූ සාංචි ශ්‍රී ලංකාවට බුදුදහම එවන්නට ප්‍රධාන වූ ස්ථානය ලෙස සැලකේ. මිහිඳු මහ රහතන් වහන්සේ සහ සංඝමිත්තා තෙරණිය ශ්‍රී ලංකාද්වීපයට වැඩම කිරීමට පෙර සාංචියේ වැඩ සිටි බව ද විශ්වාස කෙරේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවල මුදුන් මල්කඩ වන ශ්‍රී ලංකාවට බුදුදහම පැමිණීමේ දී මෙම ඓතිහාසික ස්ථානයේ ඇති වැදගත්කම සැලකිල්ලට ගත් මහ කොමසාරිස් මොරගොඩ මහතා ඉන්දු ශ්‍රී ලංකා සබ`දතාවල හැත්තෑ පස්වැනි වන සංවත්සරය සැමරීම සඳහා සාංචි බෞද්ධ ස්ථුපය කේන්ද්‍ර කරගෙන ආරම්භ කළ හැකි පියවර පිළිබඳව ද නේවාසික භික්ෂූන් වහන්සේලා සමග සාකච්ඡා කළේය.
මහ කොමසාරිස් මොරගොඩ, ඉන්දියාවට යන ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් අතර සාංචි තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව සහ විශේෂයෙන් පිරිවාය හා කාලය සීමාකරගත හැකි පියවරක් වශයෙන් දුම්රියෙන් ඔවුන් සාංචි වෙත යාමට පහසුකම් සැලසීම පිළිබඳව ද නේවාසික ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා සමග අදහස් හුවමාරු කරගෙන ඇත.
සාංචි හි මහා ස්තූපය ඉන්දියාවේ පැරණිතම ඉදිකිරීම්වලින් එකක් වන අතර ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පයේ වැදගත් ස්මාරකයකි. ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේදී අශෝක අධිරාජ්‍යයා විසින් මෙම ස්තූපය ආරම්භ කර ඇති අතර, මුල් ඉදිකිරීම් කටයුතු අධිරාජයා විසින්ම අධීක්ෂණය කරන ලද බවට විශ්වාස කෙරේ.
