සෞඛ්ය හා ආර්ථිකය නංවන්න තායිලන්තයේ පූර්ණ සහාය
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සහ තායිලන්ත නියෝජ්ය අග්රාමාත්ය මෙන්ම උසස් අධ්යාපන, විද්යා, පර්යේෂණ හා නවෝත්පාදන අමාත්ය මහාචාර්ය යොදචානන් වොන්ග්සවත් (Prof. Yodchanan Wongsawat) මහතා අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඊයේ (28) සාර්ථකව පවත්වන ලදී. මෙම සුවිශේෂී මුණගැසීම සිදුවූයේ, තායිලන්තයේ බැංකොක් නුවර එක්සත් ජාතීන්ගේ සම්මන්ත්රණ මධ්යස්ථානයේදී (UNCC) පැවැත්වෙන පස්වන ආසියා-පැසිෆික් අමාත්ය මණ්ඩල සමුළුවට (MC-5) සමගාමීවය.
මෙම සුවිශේෂී හමුවේදී දෙරට අතර පවතින ඓතිහාසික මිත්රත්වය සහ දිගුකාලීන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව නායකයන් දෙපළ අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම, මෙරට සෞඛ්ය සේවා සැපයීම වඩාත් කාර්යක්ෂම කිරීම උදෙසා කෘත්රිම බුද්ධිය (AI) සහ නවීන විද්යාත්මක ක්රමවේද භාවිතය සම්බන්ධයෙන් තාක්ෂණය හුවමාරු කරගැනීම පිළිබඳව මෙහිදී පුළුල් අවධානයක් යොමු විය.
එසේම, දෙරටේ විශ්වවිද්යාල සහ උසස් අධ්යාපන ආයතන හරහා ශිෂ්ය, ආචාර්ය මණ්ඩල මෙන්ම පර්යේෂණ ක්ෂේත්රයන්හි හුවමාරු වැඩසටහන් පුළුල් කිරීමටත්, කෘෂිකර්මාන්තය, වාරිමාර්ග පද්ධති සහ විද්යාත්මක ජල කළමනාකරණය සඳහා නවීන තාක්ෂණික සහාය ලබාගැනීමටත් අමාත්යවරුන් දෙපළ අතර අදහස් හුවමාරු කරගන්නා ලදී.
ශ්රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා සඳහා තායිලන්ත ආයෝජකයන් දිරිමත් කිරීම සහ දෙරට අතර සංචාරක ක්ෂේත්රයේ ප්රවර්ධන වැඩසටහන් ඒකාබද්ධව ක්රියාත්මක කිරීම පිළිබඳව ද මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරිණි. මීට අමතරව ශතවර්ෂ ගණනාවක් පුරා දෙරට අතර පවතින ථෙරවාද බෞද්ධ උරුමය පදනම් කරගත් ආගමික, සාමාජීය හා සංස්කෘතික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමේ වැදගත්කම ද එහිදී අවධාරණය කෙරිණි.
මෙම සාකච්ඡාවට එක්වූ තායිලන්ත නියෝජ්ය අග්රාමාත්ය මහාචාර්ය යොදචානන් වොන්ග්සවත් මහතා, තායිලන්තයේ දේශපාලන මෙන්ම ශාස්ත්රීය ක්ෂේත්රයේ ද සුවිශේෂී සලකුණකි. ජෛව වෛද්ය ඉංජිනේරු විද්යාව (Biomedical Engineering) පිළිබඳ කීර්තිමත් මහාචාර්යවරයෙකු වන ඒ මහතා, තායිලන්තයේ තාක්ෂණික සහ විද්යාත්මක පර්යේෂණ ක්ෂේත්රයේ ප්රගමනයට ඍජු දායකත්වයක් සපයන ප්රබල රාජ්ය තාන්ත්රිකයෙකි.
මෙම අවස්ථාවට ශ්රී ලංකා නියෝජිත පිරිස නියෝජනය කරමින් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ, රාජ්ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ඉංජිනේරු (ආචාර්ය) සනත් පනාවැන්න සහ තායිලන්ත රජය නියෝජනය කරමින් උසස් රාජ්ය තාන්ත්රික නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

