ලාංකිකයන්ට තුර්කි රැකියා අවස්ථා පුළුල් කිරීමට සාකච්ඡා
ශ්රී ලාංකිකයන්ට තුර්කියේ රැකියා අවස්ථා පුළුල් කිරීම සහ විදෙස් ශ්රමිකයන්ගේ අයිතිවාසිකම් හා සුබසාධනය තහවුරු කිරීම සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇතැයි විදේශ කටයුතු අමාත්යාංශය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා තුර්කි ජනරජයේ කම්කරු හා සමාජ ආරක්ෂණ නියෝජ්ය අමාත්ය මහාචාර්ය ආචාර්ය ලුට්ෆිහාක් අල්ප්කන් (Prof. Dr. Lütfihak Alpkan) මහතා සමඟ ඊයේ (27) අන්කාරාහිදී සාකච්ඡා කළේය.
නියෝජ්ය අමාත්යවරයාගේ නිල සංචාරය අතරතුර පැවති මෙම හමුවේදී කුසලතා සංවර්ධනය ප්රවර්ධනය කිරීම, සදාචාරාත්මක හා විනිවිදභාවයෙන් යුත් බඳවා ගැනීමේ ක්රමවේද හඳුන්වා දීම සහ ශ්රී ලාංකික විදෙස් ශ්රමිකයන්ගේ ආරක්ෂාව හා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.
එමෙන්ම, සේවා කොන්දේසි වැඩිදියුණු කිරීම සහ තුර්කියේ සේවයේ නියුතු ශ්රී ලාංකිකයන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා දෙරට අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.
උණුසුම් පිළිගැනීම සහ ඵලදායී සාකච්ඡා සඳහා මහාචාර්ය ආචාර්ය ලුට්ෆිහාක් අල්ප්කන් මහතා වෙත සිය ස්තුතිය පළ කළ නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා, දෙරටටම පොදු උනන්දුවක් ඇති ක්ෂේත්රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සිය කැපවීම ද ප්රකාශ කළේය.
විදෙස් ශ්රමිකයන්ගේ ගෞරවය, අයිතිවාසිකම් සහ යහපැවැත්ම ප්රමුඛත්වයෙහි තබා ගනිමින් සුරක්ෂිත හා ඵලදායී රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ වැදගත්කම ද මෙම හමුවේදී අවධාරණය කෙරිණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

