මෙල්බර්න් සිට ආපු ශ්‍රී ලංකන් යානයේ භාණ්ඩ ගබඩා මහලෙන් දුමක්
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයෙහි , භාණ්ඩ ගබඩා කර ඇති පහත මාළයෙහි ( Cargo Bay ) හටගත් දුමාරයක් නිසා 11/01 දින රාත්‍රී හදිසි අවස්ථාවක්( Emergency Landing ) ප්‍රකාශයට පත් කර , එම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පියවර ගත් බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය.
මෙම ගුවන් යානය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට 11/01 දින රාත්‍රී 10.38 කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන ගුවන් යානයයි .
මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට විනාඩි 15 කට පෙර , එහි භාණ්ඩ ගබඩා කර ඇති පහත මාළයෙන් හදිසියේ දුමාරයක් පිටවීම නිසා , ගුවන් යානයේ නියමුවා විසින් කටුනායක ගුවන් තොටුපොළ මෙහෙයුම් මැදිරිය ඒ පිළිබදව දැනුවත් කිරීමෙන් පසු , මෙසේ හදිසි ගොඩබැස්සවීමට අවශ්‍ය ගිනිනිවීම් රථ , වෛද්‍යවරුන් , හෙදියන් , ගලවා ගැනීමේ භටයන් , ගිලන් රථ සහ ගුවන් තොටුපොළ අවට රෝහල් ද සූදානමෙන් තැබීමට පියවර ගෙන තිබුණි.
එහෙත් මෙම ගුවන් යානය කිසිදු ආපදාවකින් තොරව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට ගුවන් නියමුවා සමත් වී තිබුණි. ඒ.- 330 එයාර් බස් වර්ගයේ පුළුල් බද සහිත ගුවන් යානයක් වූ මෙහි ගුවන් මගීන් 258 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 15 දෙනෙකු සිටියහ .
මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමෙන් අනතුරුව සිදු කළ සොයා බැලීම් වලදී , මෙහි ගබඩා කර තිබූ මස් තොගයක් සදහා යොදා තිබූ නයිට්රජන් වියළී අයිස් ( Dry Ice ) වලින් මෙම දුමාරය නික්ම ඇති බව අනාවරණය වී තිබේ .
පසුව මෙම ගුවන් යානය තවදුරටත් පරීක්ෂා කිරීම් වලට ලක් කිරීම් වලින් අනතුරුව 11/02 දින උදෑසන තවත් වෙනත් ගමනාන්තයක් වෙත කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

