සිය ගණනක් පාසල් සිසුන්ද ඇතුළුව පුද්ගලයන් 475ක් සමග පසුගිය බදාදා මුහුදුබත් වූ දකුණු කොරියානු මගී යාත්‍රාවේ මුදවා ගැනීමේ මෙහෙයුම අවසන් වීමට මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව බලධාරීහු ප්‍රකාශ කරති.
දැනට ලැබෙන දත්තවලට අනුව අනතුර හේතුවෙන් පුද්ගලයන් 32 දෙනෙකු මියගොස් ඇති බව සනාථ වී තිබේ. එමෙන්ම අනතුරෙන් දිවිගලවාගත්තවුන් සංඛ්‍යාව 174කි.
නමුත්, මේ අවාසනාවන්ත අනතුරින් තවමත් අතුරුදන්ව සිටින පිරිස 270කි. මුදවා ගැනීමේ මෙහෙයුම්වල නිරත කිමිඳුම්කරුවන් එම මුහුදු කලාපයේ පවතින වේගවත් රළ පහර සමග පොර බදිමින් මෙහෙයුම්වල නිරත වුවත්, එය අතිශය දුෂ්කර කාර්යයක් වී ඇති බවද බලධාරීහු පෙන්වා දෙති.
මේ අනුව, අතුරුදන් වූවන්ගේ දෙමවුපියන් හා ඥාතීන් විසින් දැනටමත් තම ඩීඑන්ඒ සාම්පල ලබාදෙමින් සිටින්නේ යම් ලෙසකින් මියගොස් සිටිය හැකි තම දරුවා හෝ ඥාතියා හඳුනාගැනීම පහසු කර ගැනීමටය.
මේ අතර, යාත්‍රාවේ කපිතාන්වරයා වූ 69 හැවිරිදි ලී ජූන් සෝක් සහ නෞකාවේ කාර්ය මණ්ඩලයේ තවත් දෙදෙනෙකු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් කපිතාන්වරයා පවසා සිටින්නේ තමන් යාත්‍රාවේ සිටි මගීන් ඉවත් කිරීම පමා කළේ ඔවුන් චණ්ඩ සැඩ පහරේ ගසාගෙන යනු ඇතැයි යන හේතුව නිසා බවය.
කෙසේ වෙතත් තම රාජකාරිය අතපසු කිරීම හා සමුද්‍රික නීතිය උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ ඔහුට නඩු පැවරීමට සූදානම් වෙයි.
අද (19දා) දිනයේ මෙහෙයුම්වල නිරත කිමිදුම්කරුවන් විසින් නෞකාව තුළ වූ මළ සිරුරු 3ක් දැක ඇතත් එය පිටතට ගැනීමට නොහැකි වී ඇති බව පවසා තිබේ.
මෙම මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා කොපමණ කාලයක් ගතවනු ඇත්ද යන්න, දකුණු කොරියානු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී ෂින් වොන් නැම් ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ එය සති ගණනක් විය හැකි බවය.
“අපට ඒ ගැන නිවැරදිම පිළිතුරක් දීමට බැහැ. නමුත්, විශේෂඥ මතයට අනුව මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා අවම වශයෙන් මාසයක් හෝ දෙකක් ගතවේවි” යැයි හෙතෙම පැවසීය.
එමෙන්ම ඔහු වැඩිදුටත් පවසා ඇත්තේ මෙතරම් කාලයක් ගතවන මෙම මෙහෙයුමේදී ජීවතුන් අතර සිටින අයෙකු පිළිබඳ විශ්වාසයක් තැබීමට නොහැකි වනු ඇති බවය.
ඒ අනුව, දකුණු කොරියානු ඉතිහාසයේ මෙන්ම ලෝක ඉතිහාසයේද තවත් අනුවේදනීය කතා ප්‍රවෘත්තියක් ලෙස දකුණු කොරියානු සීවොල් මගී යාත්‍රාවේ ඛේදවාචකයත් සමග මිනිස් ජීවිත 300ක් පමණ මහ සයුරේ සැඟව යන බව සක්සුදක් සේ පැහැදිලිය.