අනුරාධපුරයේ මීටර් 400ක කෘත්රිම ධාවන පථයක්
ජාත්යන්තර මට්ටමේ ජයග්රහණ අත්කර ගත හැකි ක්රීඩක ක්රීඩිකාවන් බිහිකිරීම මෙන්ම, රට තුළ ක්රීඩා සංස්කෘතියක් ගොඩනඟමින් නිරෝගී ජනතාවක් බිහිකිරීම අරමුණු කරගෙන ක්රීඩාව ප්රවර්ධනය කිරීම සඳහා සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යාංශයේ 2027 වසර සඳහා වන අයවැය යෝජනා පිළිබඳව අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.
වර්තමානයේ සෞඛ්ය ක්ෂේත්රය මුහුණ දෙන ප්රධාන අභියෝගයක් බවට බෝ නොවන රෝග පත්ව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම අභියෝගයට මුහුණදීම සඳහා ක්රීඩාවට පුළුල් කාර්යභාරයක් ඉටු කළ හැකි බව සඳහන් කළේය.
ඒ අනුව, ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති කරමින් ක්රියාශීලී හා සෞඛ්ය සම්පන්න ජීවන රටාවක් පවත්වාගෙන යාම සඳහා ඔවුන් වැඩි වශයෙන් ක්රීඩාවට සහ ව්යායාමවලට යොමු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
දිවයින පුරා ඇවිදීමේ මංතීරු ඉදිකර තිබුණ ද, ඇතැම් ප්රදේශවල ඒවායෙන් අපේක්ෂිත ප්රයෝජන ලබාගැනීමට නොහැකි වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම පහසුකම් ඵලදායී ලෙස භාවිත කිරීමට ජනතාව දිරිගන්වන නව වැඩසටහන් හඳුන්වාදීමේ අවශ්යතාව ද පෙන්වා දුන්නේය.
එමෙන්ම, දිවයින පුරා පිහිටි ක්රීඩාංගණ, ඇවිදීමේ මංතීරු සහ ගෘහස්ථ ක්රීඩාංගණ පිළිබඳ නිවැරදි හා යාවත්කාලීන දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම තුළින් ක්රීඩා සංවර්ධන වැඩසටහන් වඩාත් විධිමත්ව සැලසුම් කළ හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ශ්රී ලාංකික ක්රීඩක ක්රීඩිකාවන්ගේ දක්ෂතා ජාත්යන්තර මට්ටමට ඉහළ නැංවීම සඳහා ජාතික ඉහළ කාර්යසාධන මධ්යස්ථානයක් පිහිටුවීම, අනුරාධපුරයේ මීටර් 400ක කෘත්රිම ධාවන පථයක් ඉදිකිරීම, දියගම ජාත්යන්තර ක්රීඩාංගණයේ පවතින අඩුපාඩු සම්පූර්ණ කර එය සංවර්ධනය කිරීම සහ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණය වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මීට අමතරව, ක්රීඩා වෛද්ය ආයතන සහ විශ්වවිද්යාල ඒකාබද්ධ කරගනිමින් ක්රීඩාව හා ව්යායාම සම්බන්ධ පර්යේෂණ කටයුතු සිදුකිරීම ඇතුළු 2027 වසරේ ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව ව්යාපෘති පිළිබඳව ද අවධානය යොමු විය.
යොවුන් සේනාංකය සහ ජාතික තරුණ සේවා සභාව මඟින් ක්රියාත්මක කරනු ලබන වැඩසටහන්වල ප්රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව ද මෙහිදී සමාලෝචනය කෙරිණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

