එස්.එල්.එස්. සහතිකය නොමැති ආරක්ෂක හිස්වැසුම් අලෙවි කරන්නන් සහ ඇසුරුම් කරන ලද පානීය ජල බෝතල් අලෙවි කරන්නන් හෙට (01දා) සිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
2015 ජූලි මස 16 වැනිදා නිකුත් කළ අංක 1923/65 දරණ ගැසට් නිවේදනයට අනුව ශ්රී ලංකා ප්රමිති සහතිකය (SLS) නොමැතිව හිස්වැසුම් නිෂ්පාදනය කිරීම, ආනයනය කිරිම, බෙදාහැරීම, ගබඩා කිරීම සහ විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෙට සිට සපුරා තහනම් බවද එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කළේය.
මීට අමතරව ඇසුරුම් කරන ලද ජල බෝතල් සඳහා ශ්රී ලංකා ප්රමිති ආයතනයේ සහතිකය ලබාගත යුතු බවට 2015 ජුනි 11 වැනිදා නිකුත් කළ අංක 1908/18 ගැසට් නිවේදනය මගින් දැන් වූ බවත්, එම නීතියද හෙට සිට ක්රියාත්මක බවත් ඔහු පවසා සිටියේය.
මෙම ගැසට් නිවේදනයට අනුව ශ්රී ලංකා ප්රමිති සහතිකය නොමැති බෝතල් නිෂ්පාදනය කිරීම, බෙදාහැරීම, ප්රවාහනය, ගබඩා කිරීම, විකිණීමට ප්රදර්ශනය කිරීම සහ ජලය ඇසුරුම් කිරීම සපුරා තහනම් බවද සභාපතිවරයා කියා සිටියේය.
මේ නිසා මෙම නීති පිළිපදින්නේද යන්න විමර්ශනය සඳහා හෙට සිට වෙළෙඳ පොළ මෙහෙයුම් සිදු කරන බවත්, එහිදී නීති උල්ලංඝනය කරන්නන් සියලු දෙනා පාරිභෝගික පනතට අනුව අධිකරණයට ඉදිරිපත් කරන බවත් හෙතෙම සඳහන් කළේය.