මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් අද (04දා) දිනය පුරාත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානයේ නියෝජිතයෝ අද පැය 04 ක කාලයක්ද සේවයෙන් ඉවත්ව සිටින බව එම සංවිධාන නියෝජිතයෝ සඳහන් කරති.
වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ දීර්ඝ කාලයක් මුළුල්ලේ පවත්වාගෙන ආ විශිෂ්ට සම්ප්‍රදායන් අමු අමුවේම උල්ලංඝනය කරමින් වෛද්‍ය සභාව අනුමත නොකරන අදාළ ආයතනය වහාම අවලංගු කර දැමිය යුතු බවද රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව ක්‍රියාමාර්ග ගන්නා ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද එයට නිසි ප්‍රතිචාර නොලැබෙන නිසා අද උදෑසන 8.00 සිට දිනය පුරාම සේවයෙන් ඉවත්ව සිටිමේ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මානුෂිය හේතු මත අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු සිදුකරන බවත්, මෙම ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර නොලැබුණහොත් අඛණ්ඩ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පවසා සිටියේය.
රටේ ජනතාවගේ ජීවිත අනාරක්ෂිත කරන සහ රටේ අධ්‍යාපනය, සෞඛ්‍යය අනාරක්ෂිත භාවයට පත් කරන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහාම අහෝසි කර දැමිය යුතු බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ පිළිබඳව වසර 08 ක් තිස්සේ බලධාරීන් දැනුවත් කළද එයට නිසි ප්‍රතිචාර නොලැබීම නිසා අද (04දා) උදෑසන 8.00 සිට පැය 04 ක් රට පුරා රෝහල් තුළ වැඩ වර්ජනයක් දියත් කරන බවද එම මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
අදාළ වැඩ වර්ජනයට වෘත්තීය සමිති 10 ක් සහභාගි වන බවත්, මේ අනුව සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන්, සමස්ත ලංකා හෙද සංගමයේ හෙද නිලධාරීන්, සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී සංගමයේ සාමාජිකයන්, සමස්ත ලංකා රෝහල් දුරකථන ක්‍රියාකරුවන්ගේ සාමාජිකයන්, සමස්ත ලංකා වාට්ටු ලිපිකරු සංගමයේ නිලධාරීන්, සමස්ත ලංකා ඕවර්සියවරුන්ගේ සංගමයේ නිලධාරීන්, සමස්ත ලංකා ආයුර්වේද සුව සේවා සංගමයේ නිලධාරීන්, සමස්ත ලංකා රසායනාගාර කාර්මික සහායක සංගමයේ නිලධාරීන් හා සමස්ත ලංකා සුවසේවා සංගමයේ නිලධාරීන් මෙම වැඩ වර්ජනයට සහභාගි වන බවද වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
මෙම ක්‍රියාමාර්ගයට නිසි ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කරන බවද ඔහු කියා සිටියේය.
දිගින් දිගටම නීතිවිරෝධී මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පවත්වාගෙන යාමට කටයුතු කළහොත් ඉන් රටේ ජනතාවට ඇතිවන අනාරක්ෂිතභාවය සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර වෛද්‍ය සභාවට පැමිණිලි කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් මහරගම පිළිකායතනය, ළමා සහ කාන්තා රෝහල්වල මෙම වැඩ වර්ජනය දියත් නොකරන බවද ඔවුහු කියා සිටියහ.