රාජපක්ෂවරුන් සමග ඩීල් දැමූ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කුමන්ත්‍රණයට එජාපයේ පිරිසක් හමුවූ බවත් මාස අටට ආණ්ඩුව කළ දෙයක් නොමැති බවත් රට අර්බුදයකට ගිය බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
සැමවිටම අනාගතය ජයග්‍රහණය කළ හැක්කේ තාක්ෂණය සමග ඉදිරියට යාමෙන් බව එක්සත් ජාතික පක්ෂයේ දැඩි ස්ථාවරය වුවත් , පසුගිය වසර හතර හමාරක කාලය තුළ එක්සත් ජාතික පක්ෂය දියත් කළ වැඩසටහන් බොහෝමයක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අවහිර කළ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපතිවරයා විසින් ද්විත්ව චරිත නිරූපණය කරමින් රජයෙන් වැඩපිළිවෙළට බාධා එල්ල කළ බවයි.
අධ්‍යාපන අමාත්‍යාංශය හරහා දරුවන්ට පරිගණක ලබාදීම සඳහා දියත් කළ වැඩ පිළිවෙළ සහ දිවයින ම ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නොමිලේ සහ අඩු මිලට අන්තර්ජාල පහසුකම් සැපයීමේ Google Loon ව්‍යාපෘතියට බාධා එල්ල කිරීමේ සිදුවීම් උදාහරණ ලෙස පෙන්වාදුන්නේය.
එවක ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සමගින් තමන්ද ඇමරිකාවට ගොස් Google ආයතන සමග සාකච්ඡා කොට 2015 මැතිවරණයේ දී පොරොන්දු වූ පරිදී ම මෙරට ජනතාවට අන්තර්ජාල පහසුකම් සැපයීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කළ ආකාරය සිහිපත් කල විජයවර්ධන මහතා හිටපු ජනාධිපතිවරයා විසින් එම ව්‍යාපෘතියට අකුල් හෙලමින් විදුලි සංදේශ නියාමන කොමිසම හරහා ගෙන ගිය ඇතැම් බාධා කිරීම් හමුවේ එම ව්‍යාපෘතිය සම්පූර්ණ අඩාල වූ බව පෙන්වා දුන්නා.
මේ අයුරින්ම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබූ උසස් පෙළ දරුවන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය දියත් කළ වැඩසටහන ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ බාධා කිරීම හමුවේ අතරමග නතර වූ බවයි විජයවර්ධන මහතා පෙන්වා දුන්නේ.
මෛත්‍රිපාල සිරිසේන මහතා නව තාක්ෂණය සහ නව දැනුම අප්‍රිය කළ නායකයෙක් ලෙසයි ඔහු තවදුරටත් චෝදනා කළේ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තමා පත්කොට තමන්ගේ බලතල සියල්ල කප්පාදු කොට ජාතික ආරක්ෂාව මහජන සාමය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නොමැති ආයතන කීපයක් පමණක් ගැසට් නියෝගයකින් තමා වෙත පැවරූ, හිටපු ජනාධිපතිවරයා ඔහුගේ වගකීම ද පැහැර හැර රට අභාග්‍යසම්පන්න ඉරණමකට ඇද දැමූ ආකාරය ද සිහිපත් කළ විජයවර්ධන මහතා තමා ගැන පමණක් සිතන ආත්මාර්ථකාමී සහ අවස්ථාවාදී මෛත්‍රිපාල සිරිසේන වැනි පුද්ගලයෙකු බලයට ගෙන ඒම පිළිබඳ කණගාටුවන බවද සඳහන් කළා.
රුවන් විජයවර්ධන මහතා මේ අදහස් පල කළේ මෙවර මහා මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ ජය තහුරු කරමින් පැවති ජන හමු මාලාවේ කැලණිය ආසනයේ පැවති ලක් වනිතා සංවිධානයේ හමුවකට ඊයේ (18දා) එක් වෙමිනි.