ලංකාවේ ආහාර පිසින බොහෝ ක්‍රමවේදයන් අපටම ආවේණික ඒවා ලෙස හඳුනාගත හැකිය. මේ ආවේණික බව නිසාම විදේශිකයන් අපගේ ආහාර රස විඳීමට කැමැත්තක් දක්වයි.
අප රටට ආවේණික එම ආහාර රසයන් බ්‍රිතාන්‍යයන් අතර ජනප්‍රිය කර වීමට උත්සහ දරන මවක් හා දියණියක් පිළිබඳ බීබීසී වෙබ් අඩවිය වාර්තා කර තිබිණි. එම විස්තර හරහා අප ඔවුන්ගේ ශ්‍රී ලංකන් සුපර් ක්ලබ් (sri lankan supper club) බ්ලොග් අඩවිය වෙත පිවිසුණි.
ශාක්‍යා මානගේ නමැති තරුණිය සිය මව වන දුල්සි නයනා මානගේගෙන් උගත් ශ්‍රී ලාංකික ආහාර වට්ටෝරු රැසක් මෙම බ්ලොග් අඩවිය හරහා බ්‍රිතාන්‍යයන්ට සමීප කර දීමට සමත්ව තිබේ. විශේෂයෙන් ඇය විසින් මෙම ආහාර සකස් කරන අන්දම ඉදිරිපත් කිරීමෙන් පමණක් නොනැවතී ශ්‍රී ලාංකේය ආහාරවල පවතින ගුණයන් පිළිබඳවද විදේශිකයන් දැනුවත් කිරීම සිදුකරයි.
මේ පිළිබඳ බීබීසී වෙබ් අඩවියට අදහස් දක්වමින් ශාක්‍යා පවසා තිබුණේ විදේශිකයන් ශ්‍රී ලාංකික ආහාරවල රසයට ප්‍රිය වුවද, ඒවා සෞඛ්‍යට අහිතකර බවට මිත්‍යා විශ්වාසයක සිටින බව තමන්ට දැනුණු බවයි. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකද වන ශාක්‍යා විදේශයක සිටියදී ශ්‍රී ලාංකික ආහාර පිසීමට හුරු වීම පිළිබඳව මෙලෙස අදහස් දැක්වූවාය.
&උදෑසන තාත්තා පොල් මිරිකන විටත්, අම්මා තුනපහ බදින විටත් එන සුවඳ අපිට ගෙන ආවේ ඉමිහිරි මතකයක්. මම ශ්‍රී ලාංකික ආරෙට උදෑසන කෑම, දිවා ආහාර හා රාත්‍රී ආහාර පිසින්නට හරිම කැමතියි. අම්මයි තාත්තයි ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කෑම වර්ග නිතර හැදුවා. හැම සිංහල අවුරුද්දකදීම අම්මා කැවුම්, කොකිස්, කිරිබත්, සීනි සම්බල් හැදුවා. කිරි ඉතිරුවා. තාත්ති අම්මිට උයන්න උදවු කළා හැමදාම. අක්කටයි මටයි ගෙදර හදපු ඉඳිආප්ප, ආප්ප, පිට්ටු, බත් සහ වෑංජන නිතර කන්න ලැබුණා. ඒ නිසා ආහාර අපේ ජීවිත සමග ගොඩක් බද්ධ වෙලා තිබුණා*.
මෙරට ආහාර පිසීමට අවශ්‍ය අමුද්‍රව්‍ය බ්‍රිතාන්‍යයේදී සොයා ගැනීම දුෂ්කර වන නිසාම ඒවා මිලදී ගත හැකි වෙළෙඳ සැල් පිළිබඳවද ශාක්‍යා සිය බ්ලොග් අඩවිය හරහා දැනුවත් කිරීමක් කර තිබීමද විශේෂත්වයකි.
ඇයගේ පියා ශ්‍රී ලංකාවේ නීතීඥවරයෙකු ලෙසත් මව ගෘහ ආර්ථික විද්‍යාව පිළිබඳ ගුරුවරියක ලෙසත් සේවය කර තිබේ. ශාක්‍යා හා ඇගේ සහෝදරිය වන මිථිලා සමග ඔවුන් එක්සත් රාජධානිය වෙත පදිංචියට ගොස් ඇත්තේ ඔවුන් දෙදෙනා ඉතා කුඩා වයසේදීය.
ශ්‍රී ලාංකික ආහාර පිළිබඳ විදේශිකයන් දැනුවත් කිරීම සඳහා ඇය පොත් කිහිපයක් ලියා ඇති අතර, එයින් නොනැවතී sri lankan supper club බිලොග් අඩවිය හරහා ශ්‍රී ලාංකික ආහාර බ්‍රිතාන්‍යයන්ට සමීප කර තිබේ.
එසේම ඇය කුක් ක්ලබ් හරහා ශ්‍රී ලාංකික ආහාර වර්ග පිසින ආකාරය පිළිබඳ වැඩමුළු සංවිධානය කිරීමද සිදුකරනු ලබයි. මෙම වැඩමුළුවලදී පොල් ගෙඩියක් තෝරා ගැනීමේ සිට පොල් ගෙඩිය බිඳ, ගාගෙන පොල් කිරි ලබාගැනීම දක්වා අවශ්‍ය කුඩා දැනුම පවා ලබාදීමට ශාක්‍යා හා ඇයගේ මව වන දුල්සි උනන්දු වන්නීය.
ශ්‍රී ලංකාවේ සංචාරය යෙදෙන බ්‍රිතාන්‍ය වැසියන් පොල් සම්බෝල, ආප්ප, කොත්තු රොටී වැනි ආහාරවලට වැඩි ප්‍රියතාවයක් දක්වන බව ඇය සඳහන් කරයි. ශ්‍රී ලාංකික ආහාර බ්‍රිතාන්‍යයන්ට සමීප කරන මෙම වැඩපිළිවෙළ ඉදිරියටම රැගෙන යෑම තම අභිප්‍රාය බව ඇය බීබීසියට සඳහන් කර තිබිණි. එහිදී ඇය මෙසේ පවසා තිබිණි. "මගේ ලොකුම බලාපොරොත්තුව තමයි ශ්‍රී ලංකන් සුපර් ක්ලබ් කියන මගේ සංකල්පය දියුණු කරලා ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ගෘහස්ථ ආහාර කෙරෙහි බ්‍රිතාන්‍ය වැසියන්ගේ ඉල්ලුම වැඩි කරන එක."