විටින් විට අපගේ ජීවිතය වෙත අභියෝග එල්ල වන විට, ඒවායෙන් අප පසුබසින අවස්ථාද බොහෝ තිබේ. එහෙත් එම පසුබෑම් පරාජයට ලක්කිරීමට නම් අප සුබවාදී සිතිවිලිවලින් අපගේ සිත පුරවා ගත යුතුය. 
ඇමෙරිකානු ජාතික නෝමන් වින්සන්ට් පීල් විසින් රචනා කරන ලද %The Power Of Positive Thinking^ ග්‍රන්ථය, අප සිත, සුබවාදී සිතිවිලිවලින් පුරවා ගැනීමට ඉවහල් වන මාහැඟි ග්‍රන්ථයකි.
මෙය පරිච්ඡේද දහ හතකින් යුක්ත වන අතර, ඒවා අතර, තමා පිළිබඳව විශ්වාසයෙන් යුක්ත වීම, තමාගේම සතුට නිර්මාණය කරගන්නේ කෙසේද, මිනිසුන් තමා වෙත කැමැති කරවා ගන්නේ කෙසේද යනාදී වශයෙන් නම් කර තිබේ.

එමෙන්ම කතුවරයා මෙහි වැඩිදුරටත් සඳහන් කරන පරිදි මෙම කෘතිය විශ්වාසයෙන් සහ කල්පනාවෙන් පරිශීලනය කළහොත්, එහි ඇති ඉගැන්වීම් තුළින්, ඔබට ජීවිතයේ විස්මයජනක දියුණුවක් ලැබිය හැකිය. 
තවද මෙම කෘතියෙහි ඇති විවිධ ක්‍රමවේද තමාගේ ක්‍රම අනුව, හැඩගස්වාගෙන කටයුතු සිදුකරගන්නා විට, තමා තුළ ඇති වන ආත්මාභිමානය පිළිබඳවද ඔහු මෙහි සඳහන් කරයි.
සතුටුදායක ලෙස අන්‍යයන් සමග ජීවිතය ගෙවන්නටද, සැවොම දන්නා කියන, යහපත්, ප්‍රසිද්ධ පුද්ගලයකු බවට පත්වීමටද මෙම කෘතියෙහි ඇති ඉගැන්වීම් අනර්ඝ අත්වැලක් වේ. බයිබලයේ ඇති උගැන්වීම්ද පාදක කරගෙන මෙය රචනා කර තිබේ.

මෙම කෘතියෙහි අරමුණ එතරම් සංකීර්ණ එකක් නොවේ. මෙහි ඒකායන අරමුණ වන්නේ, මෙය කියවන්නා වෙත, සතුටු සහ ඵලදායී ජීවිතයකට මාර්ගය පෑදීමට උදව් කිරීමයි. මනුෂ්‍ය ජීවිතයේ සිදුවන විවිධ අසුබවාදී අත්දැකීම් උදාහරණ ලෙස ගෙන, ඒවා සුබවාදී ලෙස පරිවර්තනය කළ ආකාරයද මෙහි විස්තර වේ. ලොව පුරා මිලියන පහකට අධික පිටපත් සංඛ්‍යාවක් අලෙවි වූ %The Power Of Positive Thinking^ කෘතිය, භාෂා පහළොවකටද පරිවර්තනය වී තිබේ. අවසාන වශයෙන් සඳහන් කළ හැකිවන්නේ මෙම කෘතිය තුළින්,

• තමාගේ අරමුණු වෙත ළඟා විය හැකි ශක්තිය වැඩිකර ගැනීමටත්
• තමාගේ පුද්ගලික සහ වෘත්තීය සබඳතා වැඩි දියුණු කරගැනීමටත්
• නිතර පසුතැවීමේ සිරිත මගහැර සැහැල්ලු ජීවිතයක මග පාදා ගැනුමටත්,
• තමා වෙත කාරුණික වීමටත්
මනා ලෙස උගත හැකි බවයි.

 

0 comments

Leave a Reply

Post Comment