කකුල  හෙවත් පාදය පිළිබඳව පමණක් නොව යටිපතුළ පිළිබඳවද ඔබ මෙතෙක් නැසූ රහස් සම්ප්‍රදායක් තිබේ. ඒවායින් එකක් අද ඔබ හමුවට ගෙන එන්නේ ඒ මගින් ඔබේ ජිවිතයට මහඟු ප්‍රතිලාභ අත්කර දෙන හෙයිනි. මේ ඒ පිළිබඳව ප්‍රවීණ ටොලමියානු ජ්‍යෝතිර්වේදී කේ.සී.ජේ. රත්නායක මහතාගෙන් අප කළ විමසීමකි. 


බෝහෝ දෙනෙකු පිරිසුදු කිරීම හා රුව අලංකරණය සම්බන්ධයෙන් ගත්විට වැඩිම අවධානය දෙන්නේ හිසකෙස් හා මුහුණටය. ඒ අතරින් අැතැම් කෙනෙක් යටිපතුල් මුළුමනින්ම බැහැර කර දමයි. එහෙත් එය නුවණක්කාර ක්‍රියාවක් නොවේ. මිනිස් ශරීරයට බලපාන ශක්ති වාහක නාළිකා පිළිබඳව අවධානය යොමු කරද්දී යටිපතුල්වලට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. 
ඒ කෙතරම්ද යත් හිසකෙස්, මුහුණ සහ දෙනෙත්, දෙකන්, නාසය, දිව, දෙතොල් සහ මොළය ආදී සමස්තයම කෙනෙකුගේ යටිපතුල්වලට ඇති කරනුයේ යෝධ බලපෑමකි. ඉහත විස්තර කළ සියලු ඉන්ද්‍රියන් සමග සම්බන්ධ වන අතිසියුම් ශක්තිවාහක නාළිකා දසදහස් ගණනක් යටිපතුල සමග සම්බන්ධ වී තිබේ. 

එහි අර්ථය වන්නේ කෙනෙකුගේ යටිපතුල්වල පවතින ස්වභාවය ඔහුගේ හෝ ඇයගේ පංචේන්ද්‍රියන්ගේ පමණක් නොව සමස්ත අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි ප්‍රකෘති තත්ත්වය පෙන්වන හෙයිනි. නිදසුනක් ලෙස ගත්කල කෙනෙකුගේ ඇසේ පෙනීම හා යටිපතුල් අතර ඇත්තේ වෙන්කළ නොහැකි සම්බන්ධයකි. පෙනීම හා අක්ෂි ගෝලය ආශ්‍රිතව හට ගන්නා ශක්ති ඌනතා සමනය කිරීමට යටිපතුල්වල පිහිටි ශක්ති උත්තේජක ස්ථාන භාවිතයට ගත හැකිය. 

එමෙන්ම එවැනි කායික හා මානසික ගැටලු බොහෝමයක් පාලනය කිරීමට යටිපතුල් භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව මෙතැන් සිට ඔබව දැනුවත් කිරීමට අපි කැමැත්තෙමු. ඊට ප්‍රථම ඔබ විසින් දිනකට අනුගමනය කළ යුතු පිළිවෙත් කිහිපයක් තිබේ. 

ඔබේ යටිපතුල් උදෑසන නින්දෙන් පිබිදී දවසේ වැඩරාජකාරි ආරම්භ කිරීමට ප්‍රථම මුහුණ කට සෝදා පිරිසුදු කරන්නාක් මෙන්ම පිරිසුදු කිරීම අත්‍යාවශ්‍ය වේ. ඒ සඳහා මෘදු ස්පොන්ච් කැබැල්ලක් හෝ මෘදු බුරුසුවක් වැනි දෙයක් භාවිතා කිරීම මැනවි. අඩුම තරමින් විනාඩියකට නොවැඩි කාලයක් හොඳින් පිරිමදිමින් සබන් වැනි පවිත්‍රකාරකයක් යොදා යටිපතුල් හා ඊට සම්බන්ධ පාඇඟිලි හොඳින් පිරිසුදු කරගන්න. 

දිනකට ඔබ තෝරා ගත් වේලාවකදී අඩුම තරමින් මිනි. 15ක කාලක්වත් ස්වාභාවික පොළවේ පාවහන් රහිතව සක්මන් කරන්න. ඒ සඳහා තණබිමක් හෝ මෘදු වැලි සහිත භූමියක් නම් වඩා උචිතය.
ඔබේ යටිපතුල් කිටිකිටියේ යටවන හෝ ඒහි ස්වාභාවික හැඩතලය වෙනස් වනසුලු අරුමෝසම් පාවහන් පැලඳීමෙන් වළකින්න. උත්සව අවස්ථාවකදී  විලාසිතාවක් ලෙස අරඅමෝසම් පාවහන් යුගලක් පලඳින්නට සිදු වුවත් එවැනි ගමනකින් පසුව අඩුම තරමින් මිනි. 5ක් වත් ඔබේ යටිපතුල් අැඟිලි තුඩු අාධාරයෙන් සම්බාහනය කරන්න.

සතියකට අඩුම තරමින් එක් වරක්වත් මද උණුසුම් ජලයට ලුණු මේස හැඳි 3ක් දමා දිය කර ඔබේ යටිපතුල් එම ලුණු මිශ්‍ර උණුසුම් ජලයේ ගිල්වා දමන්න.
රූපලාවණ්‍ය ගෙන දෙන බව කියන නොයෙකුත් ආකාරයේ රසායනික මිශ්‍ර ආලේපන යටිපතුලෙහි තැවරීමෙන් වළකින්න. 

මේ මූලික පියවර ඔබ විසින් අනුගමනය කරන්නේ නම් ඔබේ යටිපතුල්ම ඔබේ රූපාලංකරණයේත්, නිරෝගී දිවිපැවැත්මේත් දැවැන්ත ආරක්ෂකයෙකු වනු ඇත. නිදුක් නිරෝගීව හා පියකරුව දීර්ඝායුෂ භුක්තිවිඳීම සඳහා යටිපතුල් ප්‍රයෝජනයට ගත හැකි ආකාරය ලබන සතියේ සිට අප විමසා බලමු.

කෂිනි හපුආරච්චි

0 comments

Leave a Reply

Post Comment