සෑමවිටම මාධ්‍ය මගින් සහ වෙනත් පාර්ශ්වයන් මගින් පුද්ගල සෞඛ්‍ය රැක ගැනීම සඳහා විවිධ උපදේශන ලබාදේ. පුද්ගල සෞඛ්‍ය බිඳ වැටුණහොත් සිය දෛනික කටයුතු සියල්ලක්ම අඩාල වන බැවින් අපද නිරන්තරයෙන් කාලීන රෝගයන් පිළිබඳව ඔබ දැනුවත් කරන්නෙමු. එබැවින් මෙම ලිපිය ඔබට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු නොඅනුමානය. 


පසුගිය වර්ෂා කාලය හේතුවෙන් උත්සන්න වූ රෝගයන් කිහිපය අතර ඩෙංගු සහ leptospirosis රෝගය ප්‍රබල විය. සෑම වර්ශයකම වර්ෂා කාලයේදී ඩෙංගු රෝගයේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර, පසුගිය වසරේ අග භාගයේදී ඇති වූ වර්ෂාව හේතුවෙන් නොවැම්බර්, දෙසැම්බර් කාලයේදී ඩෙංගු රෝගීන් වැඩි පිරිසක් වාර්තා වී තිබේ. 

පසුගිය වසරවල වාර්තා වුණු වෛරසයට වඩා වෙනස් වෛරසයක් වූ %Type 03^ වෛරසය 2019 වසරේදී පැතිර තිබිණි. මෙම Type 03 වෛරසය 2017දී පැතිරුණු වෛරසයට විශාල සමානකමක් දක්වනු ලබයි.
2019 වසරේදී ඩෙංගු රෝගය පුද්ගල සෞඛ්‍යයට විශාල ගැටලුවක්ව පැවතුණි. පසුගිය වර්ෂයේ ජනවාරි මාසය තුළදී ඩෙංගු රෝගීන් දෙසීයකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වූ අතර, ක්‍රමයෙන් පසුගිය දෙසැම්බර් මස වනවිට ඩෙංගු රෝගීන් 5527ක ප්‍රමාණයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබාගෙන තිබේ. තවද පසුගිය වසරේදී ලංකාව පුරාම රෝගීන් 96000ක් වාර්තා වී තිබෙන අතර, 2018 වසරට සාපේක්ෂව 2019 වසර තුළ ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය යම් අයුරකින් වැඩි වී තිබෙන බව දත්ත අනුව පෙන්නුම් කෙරේ.

පාස්කු ප්‍රහාරය හේතුවෙන් ඩෙංගු මර්දන වැඩසටහන්වල නිරතව සිටි හමුදා නිලධාරීන්ද රටේ ආරක්ෂාව වෙනුවෙන් යෙදවීමට සිදු වූ නිසා සැලකිය යුතු මට්ටමකින් පසුගිය වසරේ ඩෙංගු මර්දන වැඩසටහන් අඩාල වී තිබුණි. නමුත් මේ වනවිට එම තත්ත්වය පහව ගොස් ඇති හෙයින් සාර්ථකව මෙම වසර තුළදී සාර්ථකව ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වනු ඇත.

පසුගිය කාලය තුළ රෝගීන්ට අවශ්‍ය කරන ප්‍රතිකාර නොකඩවා ලබාදීමට වෛද්‍යවරුන්ට සහ හෙද නිලධාරීන්ට හැකි වී තිබේ. ඩෙංගු රෝගය අඩු වන බවට සලකා ඒ පිළිබඳව අඩු අවධානයක් යොමු කළ හැකි රෝගයක් ලෙස සිතීම හේතුවෙන්ම මේ වනවිට ඩෙංගු උත්සන්න වී තිබේ. මේ නිසාම උදා වූ 2020 නව වසරේදී ඩෙංගු රෝගය බහුලව වාර්තා වන ප්‍රදේශ වෙනුවෙන් නව වැඩසටහන් රැසක්ම ආරම්භ කිරීමට සිදුවනු ඇත.

ඩෙංගු රෝගය බවට සැකකෙරෙන රෝග ලක්ෂණ ඔබ තුළ හෝ ඔබේ සමීපතමයන්ගෙන් මතුවේ නම් ඩෙංගු හඳුනා ගැනීම සඳහා අත්‍යවශ්‍ය පරීක්ෂ කිහිපයක් සිදුකළ යුතුය. විශේෂයෙන් %full blood count test^ සහ MS 01 යන රුධිර පරීක්ෂාව ඩෙංගු සඳහා සිදුකළ යුතුය. එම රෝග ලක්ෂණ පවතින විට වෛද්‍ය නිර්දේශයන්ගෙන් තොරව ඖෂධ ගැනීම සිදුනොකළ යුතුය.

ඩෙංගු රෝගය මෙන්ම ඉන්ෆ්ලූවන්සා රෝගී තත්ත්වයද ඉතාම සුලබව 2019 වසර තුළදී තදින්ම පැතිරුණු රෝගයකි. ගෙවීගිය වසර තුළ ඉන්ෆ්ලුවන්සා ලෙස සැක කෙරෙන රෝගීන් 4456 - 5000ත් අතර ප්‍රමාණයක් කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන තිබිණි. නව වසරේදී එම තත්ත්වය පහත දැමීමට සෞඛ්‍ය අංශ වැඩපිළිවෙළ රැසක් ගෙන තිබේ.

leptospirosis හෙවත් මී උණ රෝගය පසුගිය වසර තුළදී තදින් බලපා නැතත් 2020 වසරේදී එහි යම් ප්‍රතිශතයක වැඩිවීමක් දක්නට ලැබෙනු ඇතැයි වෛද්‍යවරු සඳහන් කරති. විශේෂයෙන් පුරන් වූ කුඹුරු අස්වැද්දීමේ කටයුතු නැවත ආරම්භ වී ඇති බැවින් ඉදිරියේදී මෙම මී උණ රෝගය වැඩිවිය හැකි බව ඔවුහු විශ්වාස කරති. විශේෂයෙන් රත්නපුර, කෑගල්ල, මාතර, ගාල්ල, කොළඹ කළුතර වැනි ප්‍රදේශවල පිහිටි කුඩා කුඹුරු අසල අවිධිමත් ලෙස කසළ රැඳී තිබීම හේතුවෙන් මී උණ රෝගය ව්‍යාප්ත වන්නට වැඩි ඉඩක් පවතී. කුඩා දරුවන් වෙල් යායන් ආශ්‍රිතව මේ දිනවල නිරන්තරයෙන් ගැවසෙන බැවින් ඔවුන්ටද මී උණ රෝගය වැලඳීමට ඉඩකඩක් තිබේ. 

ඇස් රතුවීම, මුත්‍රා කහ පැහැ වීම, මස්පිඬු තද වීම වැනි දෑ මෙහි රෝග ලක්ෂණ වේ. සාමාන්‍යයෙන් දින දෙකකට වඩා වැඩියෙන් උණ ස්වභාවය පවතී නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතුවේ. එසේම රෝගය සම්පූර්ණයෙන්ම සුව වනතෙක් වෛද්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදිය යුතු වේ. සමෙහි කුඩා සීරීම් තුළින් මී උණ රෝගයෙහි බැක්ටීරියාව ශරීරයට ඇතුළු වේ. මඩ සහිත පරිසරයෙහි ඇවිදීම තුළින්ද මෙය සිදුවිය හැකිය. මේ වනවිට මී උණ බෝ විය හැකි අවදානම් ප්‍රදේශවලට ප්‍රතිජීවක ඖෂධ නොමිලයේ ලබාදීම් සිදුකර තිබේ. 
එය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් සිදුකරන අතර, සතියකට වරක් මෙම ප්‍රතිජීවකය පානය කිරීම තුළින් ඔබ ඉන් ආරක්ෂා වේ. ඇතැම් අවස්ථාවන්වලදී මෙම ප්‍රතිජීවකය ජනතාව ලබාගැනීමට මැලිකමක් දක්වති. රෝගීන් පිළිබඳව වාර්තා වීමේදී වැඩි ප්‍රමාණයක් ප්‍රතිජීවක ඖෂධ පානය නොකළ රෝගීන් බව තහවුරු වී ඇති අතර, මෙම රෝගය ප්‍රතිජීවක ඖෂධවලින් සුව කළ හැකි රෝගී තත්ත්වයකි.  මේ සඳහා නිසිකලට ප්‍රතිකාර නොගැනීම තුළින් විවිධ සංකූලතා ඇතිවන අතර, එය මරණය දක්වාම දුරදිග යෑමට ඉඩකඩ තිබේ. එසේම බොහෝ රෝගීන් ගෘහස්ත ප්‍රතිකාර හෝ අත්බෙහෙත් ක්‍රමමගින් ප්‍රතිකාර කරගනිමින් රෝගය තවත් උත්සන්න කරගනී. 

මෙවැනි උණ රෝග බහුල ප්‍රදේශයන්හී නිවාඩු මාසයේ සංචාරය කළ අය නම් උණ වැලදී ඇති විටක ඉහත රෝග පිළිබඳ සැකකර ඉක්මනින් සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගත යුතුවේ.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ඩෙංගු මර්දන ඒකකයෙහි අධ්‍යක්ෂ අරුණ ජයසේකර මහතා, නියෝජ්‍ය වසංගත රෝග විද්‍යාඥ සමිත ගිනිගේ මහතා ඇතුළු විද්වත් මණ්ඩලය දැක්වූ අදහස් ඇසුරෙණි)

කැළුම් දේවින්ද

0 comments

Leave a Reply

Post Comment