වර්තමානයේදී නිවසක් යනු හිසට සෙවණක් යන මූලික අවශ්‍යතාව අතික්‍රමණය කර වාස්තු විද්‍යාව, සෞන්දර්යය, අපූර්වත්වය, එක්වූ කලා අවකාශයක් තරමට දියුණු වී තිබේ. එතුළින් තමාගේ මූල්‍ය ශක්තිය පමණක් නොව තමන්ගේ පුද්ගල අනන්‍යතාව, රුචි අරුචිකම් සේම ඔබ කවුද යන්න පවා ඔබේ නිවසෙන් ප්‍රදර්ශනය වන තරමට මෙම විෂය විසිරී පැතිරී ඇති බැවින් ඔබ ඔබේ නිවස අනුන්ගේ ආශාවන් පිනවීමට නොව ඔබේ ජීවිතය පිනවිය හැකි ලෙසින් නිර්මාණය කර ගැනීමට සිහි තබා ගන්න.


 

ඔබ ඇතැම්විට ඔබටම කියා නිවසක් සෑදූ අයෙකු වන්නට පුළුවනි. එසේ නොවේ නම් කලක් තිස්සේ සිහිනයක් ලෙසින් දුටු ඔබේ සිහින නිවස සාදන්නට සූදානම් වෙනවා විය හැකිය. අදින් ඇරඹෙන මෙම ලිපි පෙළ වෙන්වන්නේ නිවසක් සෑදූ, නොඑසේනම් නිවසක් සාදන්නට සිහින දකින ඔබ වෙනුවෙනි.

අද ලංකාවේ නිවාස සංස්කෘතිය යනු ඉතාම සංකීර්ණ විවිධත්වයෙන් යුත් මාතෘකාවකි. එංගලන්තය, ඇමෙරිකාව, කැනඩාව වැනි ආර්ථික අතින් දියුණු රටවල පවා ප්‍රධාන මාර්ග මංමාවත්වල දකින බහුතර නිවාසවල මතුපිට නිමාව සේම අභ්‍යන්තර සැකසුම් පවා එකිනෙකට සමාන මුත් අපේ රටේ එකම මාර්ගයක නිවාස දහයක් සැලකුවොත් එය දස ආකාරයක් බව ඔබ හොඳින් දන්නවා විය හැකිය.

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ එම රටවල නිවාස නිර්මාණය සම්බන්ධයෙන් පැහැදිලි නියාමනයක්, නැතහොත් විධිමත් ක්‍රමවේදයක් පැවතුනද, අපේ රටේ නිවාස සංස්කෘතිය නිර්මාණය වී ඇත්තේ තමන්ගේ අතේ මුදල් ඇත්නම් තමාට රිසි සේ නිවසක් නිර්මාණය කරගත හැකියි යන මුදල මත පමණක් පිහිට වූ තර්කයක නිසයි.
අපේ රටට පමණක් ලඝු වී කතා කරන විට නිවසක් සෑදීමේ අරමුණු මේ අයුරින් වර්ග කළ හැකියි.

 හිසට සෙවණක් හෙවත් මූලික
අවශ්‍යතාවක් ලෙස සාදන සරල නිවාස
 මූලික අවශ්‍යතාවෙන් එහාට ගොස් අලංකාරයද එක් කළ නිවාස
 තමාගේ තත්ත්වය, මූල්‍ය හැකියාව, ප්‍රදර්ශනට සාදන නිවාස
 නිවාඩුව ගත කිරීමට හෝ අමුත්තන්ට සංග්‍රහ සත්කාර කිරීමට සාදන නිවාස

මේ කුමන ආකාරයේ අරමුණකින් තම නිවස නිර්මාණය කරගත්තද වඩා වැදගත් වනුයේ ඒ මගින් මිනිසුන්ට ආරක්ෂාව සේම ජීවත්වීමට යෝග්‍ය පරිසරයක් නිර්මාණය කරදේද යන්නයි. 
විශේෂයෙන් ලංකාව වැනි සමකයට ආසන්න රටක දේශගුණික විපර්යාස වලට යෝග්‍ය ලෙස ඔබ ඔබේ නිවස සාදාගත යුතු වන්නේ එබැවිනි. නමුත් ඇතැම්විට ස්වභාවික වාතාශ්‍රය අතික්‍රමණය කරමින් වායු සමීකරණ හරහා ඒ ඒ අවකාශවල සෞම්‍ය බව ගොඩනංවා ගන්නා අවස්ථාද අපේ රටේ නූතන ගෘහ නිර්මාණ සංස්කෘතියේ දැකීමට හැකිය.

කෙසේ හෝ මෙම ලිපි පෙළ ගොඩනැගෙන්නේම අලංකාර නිවාසවල ඒ අලංකාරය මවා ගන්නා ආකාරය පිළිබඳ ඔබ දැනුම්වත් කිරීමටත්, තමාට යෝග්‍ය නිවාස ශෛලිය ඔබටම තේරුම් ගතහැකි ලෙස තොරතුරු ලබාදීමේත් අරමුණෙනි. 

උදාහරණයක් ලෙස බැලූබැල්මට රූපමය අතින් බොහෝ වෙනස්කම් දැකිය හැකි මෙම ඡායාරූපවල ඇති නිවාස, එකම කාලයක, එකම සමාජ තත්ත්වයක් නියෝජනය කරන අයගේ නිවාස කිහිපයකි. නමුත් එකිනෙකාගේ රුචි අරුචිකම්, පුද්ගල භාවයන්, කෙතරම් වෙනස්ද යන්න ඔවුන්ගේ නිවාසවල මතුපිට පෙනුමෙන්ම ප්‍රදර්ශනය වන බව දැන් ඔබට වැටහෙනු ඇත.
ඉතින් මේ ලිපිපෙළ සමග එකතුවන ඔබට ඉදිරි සතිවලදී නිවසක විවිධ අවකාශ නිර්මාණය කරගැනීමේදී සිහි තබාගත යුතු කරුණු හා එය තමන්ගේ ක්‍රය ශක්තිය තුළ කළමනාකරණය කරගතයුතු ආකාරය පිළිබඳවද ඔබ හා තොරතුරු බෙදාගැනීමට අප බලාපොරොත්තු වෙමු.

සටහන සහ ඡායාරූප - මාලක වැලිගොඩපොල

 

0 comments

Leave a Reply

Post Comment