2024 ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරතාවලියේදී පිරිමි ශූරතාව කොළඹ ලවුපර් චෙස් ක්‍රීඩා රනිදු දිෂාන් ලියනගේ දිනා ගත්තේය.එහි කාන්තා ශූරතාව දිනා කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසලේ ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන දිනා ගත්තාය.

පැවති තරග වට 13න් ලකුණු 12ක් ලබා ගනිමින් රනිදු දිල්ෂාන් ලියනගේ මෙවර ජාතික චෙස් ශූරයා ලෙස අබිසෙස් ලබා ගනිද්දී තරග වට 13න් ලකුණු 11ක් ලබාගත් ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන ජාතික චෙස් ශූරිය ලෙස අභිසෙස් ලැබුවාය.

රනිදු දිල්ෂාන් ලියනගේ ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරයා ලෙස තේරීපත්වූවේ දෙවැනි වරටය.ඒ ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරයා ලෙස ගිය වසර ඇතුලත්ව පිට පිටම තුන් වතාවක් ජාතික චෙස් ශූරයාවූ කොළඹ නාලන්දා විද්‍යාලයේ ලොකුගේ සුසාල් ද සිල්වා පරාජය කරමින්වීම විශේෂත්වයකි.

එමෙන්ම තවත් ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරයා ලෙස කිරුළු පැළද සිටි මොරටුව විශ්වවිද්‍යාලයේ හර්ෂණ තිලකරත්නයන්ද අභිබවමින් වීම ද මෙහි ඇති තවත් විශේෂත්වයකි.

ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරිය ලෙස කිරුළු පැලදියේ මේ පළමු වරටය.එමෙන්ම මේසා ලාබාල චෙස් ක්‍රීඩිකාවක් ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරිය ලෙස කිරුළු පැළදි පළමු අවස්ථාව මෙයවීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරියන් දෙදෙනෙකුවූ කැළණිය  විශ්වවිද්‍යාලයේ නික්ලේෂා තරූෂි හා හැටන් නැෂනල් බැංකු පී.එල්.සී ආයතනයේ ජනනන්දනී අබේසිංහ අභිබවා ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරිය වීමත් මේ තරගාවලියට එක්වූ ලාබාලතම චෙස් ක්‍රීඩිකාවවූ ඇය තමාට වඩා වයසින් වැඩි අනෙක් චෙස් ක්‍රීඩිකාවන් අභිබවා ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරිය වීමත් විශේෂයෙන්ම කැපී පෙනුණි.ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන දාහතර වැනි වියේ පසු වන්නීය.

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරතාවලිය මාර්තු මස 22 සිට 31 දක්වා කොළඹ ක්‍රීඩා වෛද්‍ය ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

කාන්තා සහ පිරිමි ලෙස මේ තරගාවලිය පැවති අතර පිරිමි මෙන්ම කාන්තා තරගාවලියේ ක්‍රීඩක,ක්‍රීඩිකාවන් දාහතර දෙනාම සිය තරග ඉසව්වේ අනෙක් සෑම තරගකරුවකු ,තරගකාරියක සමග තරග වැදිය යුතුය.ඒ අනුව මේ තරගාවලි දෙකම තරග වට දහතුනකින් සමන්විතවී තිබිණ.

මෙවර පිරිමි තරගාවලිය අතිශයින්ම තියුණු තරගයක් වූවේ ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරයන් ත්‍රිත්වයක්ම ශූරතාව සදහා තරග කිරීමත් සමගය. ඒ දැනට ශ්‍රී ලංකා ජාතික චෙස් කිරුළ දරා සිටින කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසාල් ලොකුගේ සහ ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරයන්වූ  කොළඹ ලවුපස් චෙස් ක්‍රීඩා සමාජයේ  රනිදු දිල්ෂාන් සහ කුරුණෑගල මොරටුව විශ්වවිද්‍යාලයේ හර්ෂණ තිලකරත්න තරගාවලිය සදහා තරග කිරීම නිසා එම තරගාවලිය අතිශයින්ම තියුණු තරගයක්වූවේය.

රනිදු දිල්ෂාන් ලියනගේ තමන් මුහුණදුන් තරග වට13න් ලකුණු 12ක් ලබාගත්තේ ගිය වසරද ඇතුළත්ව  පිට පිටම ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරයාවූ ලොකුගේ සුසාල් ද සිල්වා  ඇතුලු චෙස් ක්‍රීඩකයින් 11 දෙනෙකු පරාජය කරමින් හා හිටපු ජාතික චෙස් ශූරයකුවූ හර්ෂණ තලකරත්න සහ කොළඹ මෙරුන් චෙස් ක්‍රීඩා සමාජයේ ටී.ටී.පීරිස් සමග පැවති තරග දෙකම ජය පරාජය කර ගනිමිනි.

එහිදී තරග වට 13න් ලකුණු 11ක් ලබාගත් ලොකුගේ සුසාල් ද සිල්වා සහ හර්ෂණ තිලකරත්න සම අනු ශූරයන්වුවද චෙස් ක්‍රීඩාවේ සම තත්ත්වය බිදීමේ ක්‍රමවේදයේදී ලොකුගේ සුසාල් ද සිල්වාට අනු ශූරතාවත් හර්ෂණ තිලකරත්නට තෙවැනි ස්ථානයත් හිමිවූහ.

ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන කාන්තා තරගාවලියේදී තමන් මුහුණදුන් තරග වට දහතුනෙන්  ලකුණු 11ක් ලබාගෙන එම අංශයේ ශූරතාව දිනා ගත්තාය.එහිදී ඇය කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයේ සනුදුලා දහම්දී හමුවේ පරාජය වීම විශේෂත්වයකි.

අනෙක් තරග වට 12න් ඔෂිනි ගුණවර්ධන ක්‍රීඩිකාවන් 10 දෙනෙකු පරාජය කළ අතර තවත් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සමග තරග ජය පරාජයෙන් කෙළවර ගත්තේ ලකුණු භාගය බැගින් තරග දෙකේදීම ලකුණක් තමන් සතු කර ගනිමිනි.අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ මෙතුෂි අමායා සහ හැටන් නැෂනල් බැංකුවේ පී එල් සී ආයතනයේ ජනනන්දනී අබේසිංහ ඔෂිනි දේවින්ද්‍යා තරග ජයපරාජයෙන් තොරව කෙළවර කර ගත් ක්‍රීඩිකාවන් දෙදෙනා වෙති.

කාන්තා තරගාවලියේ තරග වට 13න් ලකුණු 10ක් ලබාගත් කොළඹ විශාකා විද්‍යාලයේ ඒෂා පල්ලේට අනු ශූරතාවත් කැළණිය විශ්වවිද්‍යාලයේ නික්ලේෂා තරුෂිට එහි තෙවැනි ස්ථානයත් හිමිවූහ.

0 comments

Leave a Reply

Post Comment