කන්ද උඩරට ඇසළ පෙරහැර නැරඹීම සඳහා අති විශාල විදේශිකයන් පිරිසක් මෙවර පැමිණීමට නියමිත බැවින් වාර්තාගත ඉහළ මිළ ගණන් වලට පෙරහැර නැරැඹීමේ ආසන අලෙවි වෙමින් පවතින බව ආසන අලෙවිකරුවෝ පවසති .

මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා ගෙන් කල විමසීමකදී ඒ මහතා පවසා සිටියේ මහනුවර මහ නගර සභාව යටතේ පාලනය වන රැජිණ හෝටලයේ කොරිඩෝවේ නගර සභාව මගින් පනවා ඇති පෙරහැර නැරඹීමේ ආසන මාර්ගගත ක්‍රමය ඔස්සේ අලෙවි කිරීමට පියවර ගත් බවත් රුපියල් මිලියන පහක ආසන මේ වන විටත් අලෙවි වී හමාර බවත්ය .

අවසාන රන්දෝලි පෙරහැර තුන සඳහා එහි ඉදිරිපස ආසනයක් රුපියල් 25,000 ක් වැනි මුදලකට අලෙවි වූ බව පැවසූ ඒ මහතා මේ වන විට වාර්තාගත අයුරින් එම ආසන අලෙවි වෙමින් පවතින බවද පැවසීය .

වෙනත් පෞද්ගලික අංශ මගින් පෙරහැර බාරයට යටත්ව පනවා ඇති පෙරහැර නැරඹීමේ ආසන ද රුපියල් 30,000 – 35,000 දක්වා වූ මිල ගණන් වලට අලෙවි වෙමින් පවතින බවද වාර්තා වේ .

අවසාන රන්දෝලි පෙරහැර තුන පැවැත්වෙන කාලය තුළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරඟ කිහිපයක් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන බැවින් එය නැරඹීම සඳහා ද විවිධ රටවලින් විශාල සංචාරකයන් පිරිසක් කන්ද උඩරටට පැමිණීමට නියමිත බව පැවසෙන අතර විශේෂයෙන් එම තරගාවලියේ ඉතාමත් උණුසුම් තරගයක් වන ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරගය නැරඹීම සඳහා ඉන්දියාවෙන් පමණක් ප්‍රේක්ෂකයන් විසිදහසක පමණ ප්‍රමාණයක් පැමිණීමට නියමිත අතර පාකිස්ථානයෙන් ද ඒ හා සමාන පිරිසක් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ .

එම ක්‍රිකට් ලෝලීන්ගෙන් වැඩි පිරිසක් ද පෙරහැර නැරඹීමට එක් වීමට නියමිතය .

මහනුවර අවට සංචාරක හෝටල් සියල්ලකම මේ වෙනවිටත් කාමර වෙන් කිරීම සිදු කර අවසන් වී ඇති බව ද ප්‍රධාන පෙළේ හෝටල් කළමනාකරුවන්ගෙන් කළ කළ විමසීමකදී ඔවුන් අවධාරණය කළේය .

0 comments

Leave a Reply

Post Comment