මෙවර ඇසළ පෙරහර වෙනුවෙන් වැයවන විදුලි බිල වශයෙන් විදුලිබල මණ්ඩලය විසින්ශ්‍රී දළදා මාළිගාවටත් සතර මහා දේවාලයන්ටත් එවා ඇති ඇස්තමේන්තු මුදල සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සමග සාකච්ඡා කළ බවත් එම ඇස්තමේන්තු මුදල නැවත සලකා බලන බවට සාධනීය පිළිතුරක් ලබා දුන් බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය .

නිලමේවරයා ඒ බව අවධාරණය කර සිටියේ අද (19) සවස දළදා මාළිගා පරිශ්‍රයේ ඇති බහු කාර්යගොඩනැගිල්ලේදී පැවතිසාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි .

මෙම සාකච්ඡාව සඳහා සිව්මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන්, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන්, ඉහළ පොලිස් නිලධාරීන්, ඇතුළු ඒ ඒ රාජ්‍ය ආයතන නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී විය .

එම සාකච්ඡාව මාධ්‍යයට ආවරණය කිරීමට විවෘත නොවූ අතර සාකච්ඡාවෙන් අනතුරුව දියවඩන නිලමේවරයා පවසා සිටියේ පෙරහර පැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් ඇති නොවන බවත් පෙරහර මංගල්‍යය සිරිත් පරිදි සිදුකරන බවත් ය .

බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපති පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතා පවසා සිටියේ පෙරහර පැවැත්වීමට විදුලි බලයක් අවශ්‍ය නොවන බවත් මහජනතාවගේ ආරක්ෂාව සඳහා විදුලි බලය අවශ්‍ය වන බවයි . රටේ පවතින අණ පනත් අනුව එම ගැටලුව විසඳා දෙන බවට මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා පොරොන්දු වූ බවද පැවසීය .

දැනට මාස හයක පමණ කාලයක සිට දේවාලවලින් විදුලි බිලක් ගෙවන බව පැවසූ නිලමේවරයා පෙරහර වෙනුවෙන් අමතර විදුලි බිලක් ගෙවීමට කිසිසේත්ම අවශ්‍යතාවයක් නොවන බවද පැවසීය .එසේ විදුලි බිලක් ගෙවීමට සිදු වුවහොත් තම පෞද්ගලික ධනයෙන් එය නොගෙවන බවත් බැතිමතුන් විසින් පඬුරු පෙට්ටිවලට දමන මුදල්වලින් එම ගෙවීම් සිදු කිරීමට සිදුවන බවද පැවසීය .

පෙරහැර මංගල්‍යය සිදු කිරීමේදී අතීත රජ කාලයේ පටන් පැවත ආ සම්ප්‍රදායක් පවතින බවත් එම සම්ප්‍රදායන් අනුව එය සිදුවනු ඇති බවත් ජනාධිපතිවරයා මෙම ප්‍රශ්නයට මැදිහත් වී විසඳුමක් ලබා දෙනු ඇති බවද පැවසීය .

කතරගම දේවාලයේ බස්නායක නිලමේ එච්. ඒ. උඩුරාවණ මහතා සහපත්තිනි දේවාලයේ බස්නායක නිලමේ ශානක බණ්ඩාරනායක යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්වීය.

0 comments

Leave a Reply

Post Comment