නළදරු උපත් මඳසරුභාවය අන්තර් ගර්භාෂ සංසේචනය සහ කෘත්‍රිම සංසේචනය පිළිබඳ ඔබ දැනගත යුතු කරුණු
ගැබ් ගැනීමේ නොහැකියාව සම්බන්ධයෙන් අතීතයේ සමාජයේ පැතිරී පැවැති සාවද්‍ය මත බොහොමයක් මේ වනවිට වේගයෙන් අවලංගු වෙමින් පවතී. නවීන වෛද්‍ය තාක්ෂණයේ දියුණුව හා කෘත්‍රිම සංසේචන ක්‍රමවල දියුණුව සමග මේ වනවිට ගැබ්ගැනීම් උත්සාහයන් කිහිපයක් අසාර්ථක වූ කාන්තාවකට පවා මවු පදවිය ලැබීමේ අවස්ථාව හිමිව තිබේ.
කෘත්‍රිම සංසේචනය IVF (In Vitro Fertilization) සම්බන්ධයෙන් කලාපීය මෙන්ම ගෝලීය මට්ටමින් විශිෂ්ට සාර්ථකත්වයක් අත්පත් කරගනිමින් සිටින 'ලංකා හොස්පිට්ල්ස්'හි සාඵල්‍යතා මධ්‍යස්ථානය නුදුරු අනාගතයේදී 1,000 වැනි සාර්ථක කෘත්‍රිමව සංසේචිත දරු උපත නිවේදනය කිරීම සඳහා සූදානමින් සිටියි. 2008 වසරේදී ආරම්භ කළදා පටන් ලංකා හොස්පිට්ල් සාඵල්‍යතා මධ්‍යස්ථානය දහස් ගණනකගේ දරුඵල සිහින සැබෑකර තිබේ.
මේ සම්බන්ධයෙන් ලංකා හොස්පිට්ල්ස්හි සායනික කළල විද්‍යා වෛද්‍ය සාඵල්‍යතා මධ්‍යස්ථානයේ ප්‍රධානී වෛද්‍ය මදාර රළපනාව මහතා සහ ප්‍රසව හා කාන්තා රෝග විශේෂඥ වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න මහතා සමග 'අද' මෙලෙස කතාබහක නිරතවිය.
Q කෘත්‍රිම සංසේචනය හෙවත් IVF යනු කුමක්ද? දරුඵල අපේක්ෂා කරන යුවළක් මේ සඳහා යොමුවිය යුත්තේ කුමන අවස්ථාවේදීද?
වෛද්‍ය මදාර - කෘත්‍රිම සංසේචනය හෙවත් 'IVF' යනු පාලිත තත්ත්ව යටතේ විද්‍යාගාරයක් තුළ සිදුවන සායනික ක්‍රියාවලියක්. කාන්තාවකට ස්වාභාවිකව ගැබ්ගැනීම දුෂ්කර වනවිට මේ ක්‍රමය භාවිත කළ හැකියි. අදාළ යුවළගේ මදසරුභාවය නිසා ස්වාභාවිකව ගැබ්ගැනීම අසාර්ථක වුණා වන්නට පුළුවන්.
Q මඳසරුභාවය යනු කුමක්ද?
වෛද්‍ය නිශේන්ද්‍ර - කාන්තාවකගේ මඳසරුභාවය යනු උපත් පාලන ක්‍රමවේද භාවිතයෙන් තොරව සංසර්ගයේ යෙදී මාස 06ත් අවුරුද්දත් අතර කාලයක් තුළ ගැබ් ගැනීමට නොහැකි වීමයි. ඩිම්බ මෝචනය නිසි ලෙස සිදුනොවීම වගේම Endometriosis, Polycystic ovarian syndrome වැනි රෝග තත්ත්ව මීට බලපාන්න පුළුවන්. පිරිමින් තුළ නම් ශුක්‍රාණුවල සචලතාව, සඵලතාව, රූපාකාරය හා මුළු ප්‍රමාණය යනාදී සාධක මීට බලපානවා.
Q මඳසරුභාවය ඇතිවන්නේ කුමක් නිසාද?
වෛද්‍ය නිශේන්ද්‍ර - මඳසරුභාවය සම්බන්ධයෙන් තුනෙන් එකකට හේතුවෙන්නේ පිරිමින් තුළ පවතින මඳසරුභාවයයි. තවත් තුනෙන් එකකට පමණ කාන්තාවන් තුළ පවතින මඳසරුභාවය හේතු වනවා. ඉතිරි තුනෙන් එක ඇතිවන්නේ දෙදෙනා තුළම පවතින තත්ත්වයන්ගේ බලපෑම මතයි.
මේ හේතූන් අතරින් 20%ක් පමණ නිශ්චිත හඳුනා ගැනීමට හැකියාවක් නැහැ.
Q ස්වාභාවික ගැබ්ගැනීමේ ක්‍රියාවලිය විස්තර කරන්න පුළුවන්ද?
වෛද්‍ය නිශේන්ද්‍ර - තරුණ කාන්තාවකගේ සාඵල්‍යතා කාලසීමාව වන්නේ මාසික ආර්තවයේ සිට දින 12ත් 16ත් අතර කාලයයි. සංසර්ගය මගින් යෝනිය තුළට ශුක්‍රාණු මිලියන ගණනක් ඇතුළු වෙනවා. ස්වාභාවික ගැබ්ගැනීමකදී නිරෝගී හා සජීවී ශුක්‍රාණු බහුතරයක් ගැබ්ගෙල කරා පිහිනා යනවා.
ඉන්පසු ඒ ශුක්‍රාණු ගමන් කරන්නේ පැලෝපීය නාළය හරහායි. මේ කාලයේදී ඩිම්බ මෝචනය සිදුවනවා. එසේ ඩිම්බ කෝෂ මගින් නිකුත් කරන ඩිම්බයක් පැලෝපීය නාළය තුළදී ශුක්‍රාණුවක් හා එක්වී සංසේචනය වීම සිදුවනවා. මේ ආකාරයට ස්වභාවික ක්‍රියාවලිය ඔස්සේ ගැබ්ගැනීම වසරක කාලයක් තුළ සිදු නොවුණොත් එම යුවළට ප්‍රතිකාර වෙත යොමු වෙන්න පුළුවන්.
Q මේ ආකාරයට මඳසරුභාවය නිසා පීඩා විඳින අයට ඇති එකම විසඳුම කෘත්‍රිම සංසේචනය පමණද?
වෛද්‍ය මදාර - පිරිමින් තුළ මද පමණින් දැකිය හැකි මඳසරුභාවය සහ කාන්තාවන්ගේ ගැබ්ගෙල ආශ්රිත ගැටලු නිසා ඇතිවන මඳසරුභාවය සඳහා මූලික ප්‍රතිකාර ක්‍රමයක් ලෙස 'අන්තර් ගර්භාෂ සංසේචනය' හෙවත් Intra Uterine Insemination (IUI) භාවිත කරන්නට පුළුවන්.
මෙහිදී සංසේචනය පහසු කිරීම සඳහා තෝරාගත් සචල ශුක්‍රාණු කාන්තාවකගේ ගර්භාෂය තුළ තැන්පත් කිරීම සිදුවනවා. ඩිම්බ වර්ධනය වීම හෝ ඩිම්බ මෝචනය සිදුවූ පසුවත් කාන්තාව ගැබ් නොගැනීමට ඉඩ තිබෙනවා. පැලෝපීය නාළ තුළ සිදුවන දේ දැකීමට නොහැකි නිසා මෙවැනි අසාර්ථක වීම් ඇතිවන්නට පුළුවන්.
කෙසේ වුවත් මේ වනවිට කාන්තාව හෝමෝන ප්‍රතිකාර වැනි දේ ලබාගෙන තිබීමට ඉඩ ඇති නිසා 'IVF' ප්රතිකර්මය ආරම්භ කිරීමට පවා ඇයගේ හෝමෝන මට්ටම නිසි ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමට පැමිණ තිබීමට පුළුවන්. ඇතැම් අය වසර ගණනාවක් තිස්සේ IUI මධ්‍යස්ථාන එකින්එක කරා යමින් ප්‍රතිකර්ම 15ත්, 20 ත් අතර කරමින් දරුඵල ලැබීමට උත්සාහ කරන අවස්ථා අප දැක තිබෙනවා.
Q කෘත්‍රිම සංසේචනය හෙවත් 'IVF' ප්රතිකර්මයේදී සිදුවන්නේ කුමක්ද?
වෛද්‍ය මදාර - මෙහිදී සිදුවන්නේ රසායනාගාරයක් තුළදී ශුක්‍රාණුව හා ඩිම්බය කෘත්‍රිමව සංසේචනය කිරීමයි. මේ සඳහා Standard iy ICSI (Intra Cyto-Plasmic Sperm Injection) යනුවෙන් ක්‍රම දෙකක් භාවිත වනවා.
Standard ක්‍රමයේදී සිදුවන්නේ කාන්තාවගේ ඩිම්බ කෝෂවලින් ලබාගත් පරිණත ඩිම්බ දෙකක් හෝ තුනක් ශුක්‍රාණු 80,000ක් හෝ 100,000ක් පමණ සමග සංසේචනය කර, පැලෝපීය නාළයේ සංයුතියට සමාන (උෂ්ණත්වය සෙල්සියස් අංශක 37/ආර්ද්‍රතාව කාබන් ඩයොක්සයිඩ් 6%, ඔක්සිජන් 5%) ඉන්කියුබේටරයක තැන්පත් කිරීමයි.
මෙහි රෝපණ මාධ්‍ය සියල්ලත් පැලෝපීය නළයේ තත්ත්වයන්ට සමාන ලෙස පවත්වාගනු ලබනවා. මෙහිදී ශුක්‍රාණුව ස්වාභාවික ලෙස ඩිම්බය හා සම්බන්ධ විය යුතුයි.
ICSI ක්‍රමයේදී ශුක්‍රාණු ඍජුවම ඩිම්බවලට ඇතුළු කෙරෙන අතර, මෙම ඇතුළු වීම රසායනාගාරය තුළ තහවුරු කරගැනීමට හැකියි. මේ ආකාරයට ශුක්‍රාණුව ඩිම්බයට ඇතුළු වීම නිසා සංසේචන ක්‍රියාවලිය ආරම්භ වනවා. ස්වාභාවික ක්‍රියාවලියට සමානවම ශුක්‍රාණු හා ඩිම්බ සම්බන්ධ වීම සිදුකෙරෙන නිසා ICSI ක්රමයේ සාර්ථකත්ව අනුපාතය ඉහළයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

