දිරිය කතුනට අත දෙන්න ලක් වනිතාවෝ සූදානම්
කාන්තාවන් උපතින්ම ධෛර්ය සම්පන්න වේ. ඔවුන්ට දරාගැනීමේ ශක්තිය එමගින් ලැබී තිබේ. දරිද්‍රතාවයෙන් වැඩිපුරම බැටකන්නේද කාන්තාවන්ය. එය මෙරට බොහෝ කාන්තාවන්ට උරුම වී ඇති කරුමයකි. එම කර්මයෙන් මිදීමට පහසුම මාර්ගය වී ඇත්තේ මැදපෙරදිග ගෘහ සේවයයි. එය ඉතාමත් කටුකය, දුෂ්කරය. එබැවින් බොහෝවිට ඇයට ඉතිරි වන්නේ දුක හා කඳුළ පමණය. මෙවැනි පීඩනයන්ගෙන් කාන්තාවන් මුදවා ගැනීමට නම් ඇයට මෙරටදී මුදල් උපයා ගැනීමේ මාර්ගයක් සලසා දිය යුතුය.
ඒ අනුව කාන්තාවන් තුළ පවතින සියුම් නිර්මාණශීලී හැකියාවන් මෙන්ම ඇය තුළ පවතින මූල්‍යමය පාලන හැකියාවද ප්‍රයෝජනයට ගනිමින් ඇයගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. එහෙත් ඒ පිළිබඳව මෙරට කාන්තාවන් උදෙසා පවත්වා ගෙන යන ආයතන ක්‍රියාත්මක වීම සිදුවනුයේ මන්දගාමී අයුරිනි. එය නිසි අයුරින් ක්‍රියාත්මක වූයේ නම්, අපේ රටේ කාන්තාවන් සිය හැකියාවන් සඟවාගෙන සිටින්නේද නැත. එසේ නිසි වැඩපිළිවෙළක් නොමැතිකම සිදුවී ඇති අභාග්‍යයකි. ප්‍රමාදවී හෝ මෙය හොඳින් හඳුනාගත් කාන්තාවක් පසුගියදා සිය අත්දැකීම් පදනම් කරගනිමින් මෙරට කාන්තාවන්ගේ හැකියාවන් අනුව ඔවුන්ට ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා මූල්‍යමය ශක්තිය සහ මගපෙන්වීම හා උපදේශනයද නිරතුරුව ලබාදී ශ්‍රී ලාංකේය ස්ත්‍රීත්වයට පන්නරය ලබාදීම සඳහා සක්‍රීය වැඩපිළිවළක් ආරම්භ කර තිබේ. ඇය වත්මන් පාර්ලිමේන්තුවේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමතිවරිය මෙන්ම ලක්වනිතා පෙරමුණේ සභාපතිනියද වන වෛද්‍ය අනෝමා ගමගේ මහත්මියයි. ඇය සිය වැඩපිළිවෙළ පිළිබඳව ‘අද’ හා අදහස් පළකළේ මෙලෙසිනි.
Q මුලින් ඔබ හඳුන්වා දුන්නොත්?
මම ඉපදුණේ දකුණේ, මාතර. මගේ දෙමවුපියො රජයේ සේවකයො. ඒනිසා අපේ අධ්‍යාපන කටයුතු සඳහා කොළඹට ආවා. විශාකා විද්‍යාලයේ ඉගෙනුම ලබපු මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ උපාධිධාරිනියක් ලෙස සමත්වෙලා රජයේ පශු වෛද්‍යවරියක් ලෙස දිවයිනේ පළාත් කිහිපයකම සේවය කළා. අම්පාරෙ වැඩ කරන කාලයේදීයි, දයා ගමගේ මගේ සැමියාව මට මුණගැසුණේ. අපේ විවාහයෙන් පස්සෙ මම රජයේ වෘත්තියෙන් සමු අරගෙන පූර්ණ කාලීනව සැමියාගේ ව්‍යාපාර කටයුතුවලට සහාය ලබාදුන්නා. දයා ඇපරල් නමින් ඇඟලුම් කර්මාන්ත ශාලා අටක් මේ වනවිට අම්පාර දිස්ත්‍රික්කය මූලික කරගෙන අප පවත්වාගෙන යනවා. තුන්දහසක පමණ සේවක සේවිකාවන් මේ වනවිට එම කර්මාන්ත ශාලාවල සේවය කරනවා.
එකදිගට වසර තුනක්ම අපනයන ක්ෂේත්රයේ හොඳම කාන්තා ව්‍යවසායිකාව ලෙසට මා සම්මාන ලබා තිබෙනවා. මේ අතරතුර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙ ඇරයුම පරිදි මට දේශපාලනයට පිවිසෙන්න සිදුවුණා. මුලින්ම නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරියක වශයෙන්ද පසුව 2010 මහ මැතිවරණයේදී අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවටද මා තේරී පත්වුණා. 2015 මහා මැතිවරණයෙන් පසුව පක්ෂයේ ඉල්ලීම අනුව ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක් ලෙස මාව පත්කළා. මේ වනවිට මා නියෝජ්‍ය ඇමතිවරියක්. ඒ වගේම පක්ෂයට අනුබද්ධ ලක්වනිතා පෙරමුණේ සභාපතිනිය ලෙසද කටයුතු කිරීමේ වගකීමද මාහට පවරා තිබෙනවා.
Q ලක් වනිතා සංවිධානයේ නව ව්‍යපෘති ගණනාවක් ආරම්භ කරලා තියන බව අපට දැනගන්නට ලැබුණා. ඒ මොනවද? මේවා සක්‍රීයව ක්‍රියාත්මක කරනවද? නැත්නම් ඒවත් දේශපාලන පොරොන්දු වගේද?
ඇත්තෙන්ම නැහැ. මම පොරොන්දු ඉටුකරන, ඉටුකරපු කෙනෙක්. මමත් කාන්තාවක්. මේ රටේ ජීවත්වන කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් අගහිඟකම් වලින් පීඩිත වුණු අය. එයාලට නිසි මගපෙන්වීමක් මෙතෙක් සිදුවී නැහැ. ඒ නිසා බොහෝ කාන්තාවන් මැදපෙරදිග ගෘහ සේවය ඒ සඳහා එකම විකල්පය ලෙස තෝරාගෙන තිබෙනවා.
Q මැදපෙරදිග සේවයට යන අපේ කාන්තාවන් අපමණ පීඩාවලට පත්වී තිබෙනවා. මෙය වහල් සේවයක් ලෙසයි බොහෝ දෙනෙකු හඳුන්වන්නෙ. ඇත්තෙන්ම මෙය අපේ සංස්කෘතියට පවා නොගැළපෙන ක්‍රියාවක් ඇයි මෙය නතර කරන්න බැරි?
කාන්තාවන් මැද පෙරදිග ගෘහ සේවයට යන එකට මම තදින්ම විරුද්ධ කෙනෙක්. එහෙත් එයට විකල්ප ක්‍රියාමාර්ග අප නිසි අයුරින් මෙතෙක් සැලසුම් කරලා නැහැ. තම සැමියාට ලැබෙන ආදායමින් පවුල ජීවත් කරගන්න බැරි නිසා තමන්ටම කියලා හොඳ නිවසක් හදාගන්න සිහිනය එම ආදායමෙන් සැබෑකර ගන්න බැරි නිසා තමයි කාන්තාවන් බොහෝ දෙනෙක් මැද පෙරදිග ගෘහ සේවයට යන්නෙ. මෙයට විකල්ප අප සොයාගත යුතුයි. කාන්තාවන්ට තම හැකියාවන් වර්ධනය කරගනිමින් ස්වයං රැකියා මාර්ගයකට පිවිසිලා සාර්ථක ව්‍යවසායිකාවක් වෙන්න පුළුවන් සම්පත් මේ රටේ අපමණවත් තියෙනවා. අප කළයුතු වන්නේ ඒවා හඳුනාගෙන කාන්තාවන්ව එම කර්මාන්ත සඳහා යොමුකරන එකයි. ලක්වනිතා සංවිධානයේ අප ඒ සඳහා වැඩපිළිවෙළක් සකස්කර තියෙනවා. එය දැන් ක්‍රියාත්මක කරමින් පවතිනවා.
Q එතකොට මෙම ව්‍යපෘතිය මගින් සහාය ලැබෙන්නෙ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකාවන්ට විතරද?
ලක්වනිතා පෙරමුණ කියන්නෙ අපේ පක්ෂයේ කාන්තා සංවිධානයයි. අපි ඡන්දයක් වෙන අවස්ථාවකදී කාන්තාවන් හැටියට වෙන්වෙලා කටයුතු කළත් ඉන්පසුව අප යම්කිසි ප්‍රදේශයකට ගිය විට එතැනදී අපේ පක්ෂයේ නොවන කාන්තාවකට රැකියාවක් හෝ ස්වයං රැකියාවක් කරන්නට පවතින අවශ්‍යතාව මානුෂිකව බැලිය යුතු වෙනවා. අපි පොදු හැඟීමෙන් යුක්තව කටයුතු කළ යුතුයි. එතකොටයි මෙම වැඩපිළිවෙළ සාර්ථක කරගන්න පුළුවන් වෙන්නෙ. හැබැයි ලක්වනිතා පෙරමුණ හරහා එන අයට අපි මූලික තැනක් දෙනවා. එය අපේ සංවිධානයට ශක්තියක්.
Q යම්කිසි ප්‍රදේශයක දක්ෂතා ඇති කාන්තාවකට ස්වයං රැකියාවක් කිරීමේ මූල්‍යමය අර්බුදයක් තියෙනවා. ඇය ඇතැම්විට විරුද්ධ පක්ෂයට සහාය ලබාදුන් කාන්තාවක් වන්නට පුළුවන් එහෙමත් නැත්නම් ඇය ස්වාධීනව කටයුතු කළ තැනැත්තියක් වන්නටත් පුළුවන්. එවිට ඔබලා ඇයට සහාය ලබාදෙන්නෙ කොහොමද?
එයට හොඳම උදාහණයක් මම කියන්නම්. අපි පසුගිය මාසයේ අම්පාර මැතිවරණ බලප්‍රදේශය මූලික කරගෙන කාන්තාවන් දෙසීයක සහභාගිත්වයෙන් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය යටතේ හතු වගා ව්‍යපෘතියක් ආරම්භ කළා. එම වැඩසටහනට එකතු වූ බොහෝ කාන්තාවන් අපේ පාක්ෂිකයෝ නෙමේ. එය මා හොඳින් දැනගෙන හිටියා. අපේ ඇතැම් හිතවතුන් ඔවුන්ව මෙයට සම්බන්ධ කරගන්න එපා කියල මට පැවසුවා. ඒ ඔවුන්ගේ මතය. ඒත් මම ඔවුන්ට පැවසුවේ මට එය එහෙම කරන්න බැහැ, අපි එයාලගේ ආර්ථිකය ගොඩනගා ගන්න උදවු කරමු, එතකොට යම් දවසක ඔවුන් අපි ගැන හිතාවි කියලා. රජයක් හැටියට අප කටයුතු කරන්න ඕන, සමස්ත ජනතාවම අපේ යන හැඟීමෙන් යුතුවයි.
Q ඔබ සංවිධානය මගින් කාන්තා සවිය ශක්තිමත් කරන්න සොයාගෙන තිබෙන ක්‍රමවේදයන් මෙනවාද?
අප වටා කොයිතරම් සම්පත් තියනවද? එළවළු, පලතුරු වගාවන්ගෙන් අපට හොඳ ආදායමක් ලබාගන්න පුළුවන්. අපේ ගම්වල සියඹලා, කොස්, දෙල් මේවා කොයිතරම් ගස්යට වැටිල අහක යනවද? පුවක්, බුලත් මේ හැම දෙයක්ම අපනයනය කරන්න පුළුවන්. අපට මුදල් සෙවීමේ මාර්ග තියනවා. නැත්තෙ ඒ සඳහා හරියාකාර උපදේශනයක්. දයා ගමගේ ඇමතිවරයා යටතේ පවතින ප්‍රාථමික සංවර්ධන අමාත්‍යාංශය හරහා මේ වනවිට බිලියන ගණනක මුදලක් මෙවැනි නව කර්මාන්ත ව්‍යපෘති සඳහා වෙන්කරලා තියනවා. ඔවුන්ගේ ‘ධන සවිය’ වැඩසටහන කාන්තාවන් සඳහාම වෙන්වූවක්. එයින් කාන්තාවන් දසලක්ෂයකට ස්වයං රැකියා අවස්ථා ලබාදීමේ වැඩපිළිවෙළක් සකස්කර තිබෙනවා.
ඔවුන්ගේද සහාය ලබාගෙන කාන්තාවන්ව ඒ සඳහා යොමුකිරීම අපේ අරමුණයි. එළවළු, පලතුරු වගාව, සුරතල් මසුන් ඇතිකිරීම, හස්ත කර්මාන්තය, මැහුම් කර්මාන්තය ආදී ඕනෑම කර්මාන්තයකට අප අත දෙන්න සූදානම්. ඒ වගේම ඔවුන්ගේ නිෂ්පාදනයන් ඉහළ ප්‍රමිති මට්ටමක තිබේනම්, ඒවා අපනයනය කිරීමටද අප සහාය ලබාදෙනවා.
එවිට ඔවුන්ගේ ආර්ථිකය නිරායාසයෙන්ම සවිමත් වෙනවා. එහෙම වුණොත් කාන්තාවන් ගෘහ සේවිකාවන් විදිහට රට රැකියා සොයාගෙන යන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. ඔවුන්ට තම මවුබිමේදීම අභිමානවත් ලෙස සිය ජීවන තත්ත්වය ශක්තිමත් කර ගන්න හැකි වෙනවා. ලක්වනිතා පෙරමුණේ ඒකායන අරමුණ වන්නේත් ඒකයි.
අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

