සංවර්ධනය කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කෙරුණේ විනිවිද භාවයකින් යුතුවයි...

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙවර විමද්‍යගත අරමුදල් ආණ්ඩුව ලබා නොදෙන බවට කෙරෙන ප්‍රකාශ පදනම් විරහිතයි....

මෙවර ප්‍රතිපාදන වෙන් කෙරුනේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු වලටයි.. මන්ත්‍රීවරුන්ට නොවෙයි...

සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමේදී එය විනිවිද භාවයකින් සිදු කෙරුණ බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙවර විමද්‍යගත අරමුදල් ආණ්ඩුව ලබා නොදෙන බවට කෙරෙන ප්‍රකාශ පදනම් විරහිත බවයි.

ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂයේ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මෙවර වෙන් වෙන් වශයෙන් විමද්‍යගත අරමුදල් වෙන් කර නොමැති බවත්, සියළු ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ මන්ත්‍රීවරුන්ට නොව දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවලට බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අද (26) දින පාර්ලිමේන්තුවේදී මතුකළ කරුණකට පිළිතුරු ලබා දෙමින්ය.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා - (සජබ)

වර්තමාන පාර්ලිමේන්තුවෙන් විමධ්‍යගත අරමුදල් අපිට ලබා දෙන්න තීන්දු කරලා තිබුණා. අපිට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට ආරාධනා කළා. අපි එහි ගියා. එහිදි අපගේ යෝජනා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට හා සම්බන්ධිකරණ කමිටුවට දෙන්න කිව්වා. අපි ඒ විදියට ඒ යෝජනා දුන්නා. යොමුකළ සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවේ අනුමැතිය නොලැබුණ බවට මාස්පොත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් ලිපියක් ඇවිල්ලා තියෙනවා. තෝරාගත් මන්ත්‍රීවරුන්ට පමණක් මේ ප්‍රතිපාදන ලබා දීම අසාධාරණයි. ඉතිහාසයේ එහෙම වෙලා නෑ.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා-

මේ විමධ්‍යගත මුදල් සම්බන්ධව මේ සභාවේ සාකච්ඡාවට ලක්වුණා. ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේදී කියා සිටියේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට ප්‍රතිපාදන වෙන් කළ බවයි. දිස්ත්‍රික් කමිටුවට අපි චක්‍රලේඛනයක් යවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේම සාකච්ඡා වූණා. මන්ත්‍රීවරු ඔවුන්ට ඕනි ඕනි විදියට ව්‍යාපෘති යෝජනා හදනවා. එයින් ජනතාවට ප්‍රතිලාභ නොලැබෙන නිසා ග්‍රාමීය කමිටු හරහා යෝජනා හදුනාගෙන ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුව හරහා ක්‍රියාත්මක කරන්න කියලා උපදෙස් ලබා දී තිබෙන්නේ.

දිස්ත්‍රික්කයකට මුදල් ලැබුණම සැලසුම් අධ්‍යක්ෂකවරු විසින් ඒ ලබා දුන් ප්‍රතිපාදන නිර්නායකයන් හදාගෙන (ජනගහනය, භුමියේ විශාලත්වය) ප්‍රාදේශිය ලේකම් මට්ටමින් ප්‍රතිපාදන බෙදුවා. ඒ සම්බන්ධව ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව ග්‍රාමීය කමිටුව හරහා යෝජනා හදුනාගෙන ප්‍රමුඛතා ලේඛනයක් හදලා යෝජනා ටික ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවට යොමු කිරීමයි සිදු වන්නේ. ඒ යෝජනා තමයි ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවට ආ පසු අනුමත කළේ. දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ට කියලා ප්‍රතිපාදනයක් වෙන් කරලා නෑ.

ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුව හරහා මේක ක්‍රියාත්මක වෙන්නේ. මේක නිවැරැදි කරන්න ඕනේ. ඒ වෙනකොටත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් ලැබිලා තියෙනවා. හෙන්චයින්ට දුන්නා කියලා විපක්ෂයේ මන්ත්‍රීවරු කියනවා. එහෙම එකක් වෙලා නෑ. 

0 comments

Leave a Reply

Post Comment