ලිතුවේනියාවේ බර වාහන රියැදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී  ලාංකිකයන් 106 දෙනෙකු එම රැකියා , ආහාරපාන සහ නවාතැන් පහසුකම් නොමැති වීම නිසා  යුරෝපයේ අතරමං වී සිටින බව එම කණ්ඩායමේ සිටි, ලිතුවේනියාවෙන් පිටුවහල් කර පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු 04/26 දින උදෑසන  කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .

ඔවුන් දෙදෙනා ඇතුළු ශ්‍රී ලාංකික 108 දෙනෙකු රජයේ මැදිහත් වීමෙන් , ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී , රුපියල් ලක්ෂ 12 ක් කොළඹ රැකියා නියෝජිත ආයතනයකට ලබා දී ලිතුවේනියාව බලා බර වාහන රියැදුරුන් ලෙස සේවය කිරීම සදහා පිටත්ව ගොස් තිබේ .

මෙසේ ලිතුවේනියාවේ සිට මෙරටට පැමිණි ගාල්ල උණවටුන ප්‍රදේශයේ පදිංචි එන්.ඩබ්ලිව්.ප්‍රියන්ත මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී මෙසේ පැවසීය .

"මම කොළඹ වරායේ බර වාහන රියැදුරුවරයෙකු ලෙස සේවය කරමින් සිටි අතර , මටම අයත් බර වාහන දෙකක් ද වරායේ සේවයට යොදවා තිබුණා . නමුත් ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන ආර්ථික තත්වය යටතේ එම වාහන විකුණා , රත්තරන් බඩු උගස් කර ,  අපි රජයේ මැදිහත්වීමෙන් කොළඹ රැකියා නියෝජිත ආයතනයකට රුපියල් ලක්ෂ 12 ක් ගෙවා ලිතුවේනියාවේ බර වාහන රියැදුරන් ලෙස සේවය කිරීමට යෑමට සූදානම් උනා . මේ මුදලට අමතරව  ගුවන් ටිකට් පත් ඇතුළු තවත් බොහෝ දෑ අපි මිළදී ගත්තා.
  
අපි ලිතුවේනියාව බලා පිටත්ව යන උත්සව අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද පැමිණ සහභාගී වී සිටියා. ඒ නිසා අපි විශාල බලාපොරොත්තුවක් රදවා ගෙන තිබුණා .

එහෙත් අපි ලිතුවේනියාවට ගියාට පසුව , එරට " මාන්වෙස්ටා " සමාගම , අප ශ්‍රී ලංකාවෙන් ගිය පිරිස අතරින් දෙදෙනෙකුට පමණක් බර වාහන රියැදුරු තනතුරු ලබා දී , අනෙක් පිරිස ඌරු කොටුවල රැකියා සදහා යොමු කළා .

අපි සියලු දෙනා බර වාහන පැදවීම පිළිබඳ සුදුසුකම් ලත් රියැදුරන් . ඒ නිසා අපි කැමති උනේ නැහැ ඌරු කොටුවේ රැකියාවට. ඒ නිසා ලිතුවේනියා රජය  වසර දෙකකට අපට ලබා දී තිබූ නේවාසික වීසා බලපත්‍ර අහෝසි කළා .

ඊට පස්සෙ අපි දවසකට යූරෝ 10 ක් වැය කර නවාතැන් පහසුකම් සළසා ගත්තා . ඊට අමතරව  ආහාරපාන වෙනම මිළදී ගත්තා .

අපි මේ පිළිබඳ ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපති ආචාර්ය සරත් ජයන්ත පීරිස් මහතා වෙත දැනුවත් කිරීමෙන් පසුව මෙසේ අපිව යළින් වතාවක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළා.

 ඒ අනුව මමත් සමග ලිතුවේනියාව බලා පිටත්ව ගිය දෙදරු පියෙකු වන  අතුරුගිරියේ කාලිංග බුලත්සිංහල මහතා ද පැමිණ සිටිනවා , ගාල්ල උනවටුන ප්‍රියන්ත මහතා පැවසීය .

අපිට මේ වෙනකොට රුපියල් ලක්ෂ 35 විතර මෙම ගමනට වියදම් වෙලා තියෙනවා . මේ මුදල් ලංකාවෙ අපේ ගෙවල් දොරවල් උගස් තියල සොයා ගත්තෙ , අපිව ලංකාවට ගෙන්වා ගන්න ඕන නිසා" යැයි ඔවුන් වැඩිදුරටත් පැවසීය .

 මොවුන් 04/26 දින අලුයම 05.20 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් භාර ගැනීම සදහා ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපති ආචාර්ය සරත් ජයන්ත පීරිස් මහතා ඇතුළු එම සංවිධානයේ නිලධාරීන් දෙදෙනෙකු ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

0 comments

Leave a Reply

Post Comment