ශ්‍රී ලාංකික දරුවන් මැලේසියාව ඔස්සේ යුරෝපයේ රැගෙන ගොස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වී සිටි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පහසුකම් සපයන්න 04/25 දින කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ අවදානම් තක්සේරු කිරීමේ  ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු කොළඹ , දෙහිවල ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි ද්‍රවිඩ ජාතිකයෙකි .

මොහු ශ්‍රී ලාංකික දරුවන් 17 දෙනෙකු රටින් පිට කර මිනිස් ජාවාරම් කිරීමේ අවස්ථාවන් පිළිබඳ චෝදනාවට ලක් වී සිටීම නිසා , මොහු පිළිබඳ විශේෂ , පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස ආගමන විගමන පාළක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ අවදානම් තක්සේරු කිරීමේ ඒකකය වෙත නියෝග කර තිබුණි .

ඒ අනුව  ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් ඔහු ලුහු බදිමින් , ඔහුව සමීපව නිරීක්ෂණය කරමින් සිටි අතර , ඔහු පිළිබඳව මැලේසියාවේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ද දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි .

එම පසුබිම යටතේ 04/25 දින 14 හැවිරිදි පිරිමි දරුවෙකු සිය පියා සමග මොහු විසින් මැලේසියාව වෙත රැගෙන යමින් සිටියදී ක්වාලාලම්පූර් නුවර ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොවුන් අත් අඩංගුවට ගෙන , ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට පියවර ගෙන තිබුණි .

ඒ අනුව මොවුන් 04/25 දින උදෑසන 09.30 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට , එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 047 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ අතර , ගුවන් තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .

මොහු ඉකුත් 2022 දෙසැම්බර් මාසයේ සිට 2023 අප්‍රියෙල් මාසය දක්වා ශ්‍රී ලාංකික දරුවන් 17 දෙනෙකු මෙසේ මැලේසියාව බලා රැගෙන ගොස් ඇති අතර ඔවුන් සියලුම දෙනා ද්‍රවිඩ ජාතික ළමුන් වීම විශේෂත්වයකි .

ඔවුන් අතරින් ළමුන් 13 දෙනෙකුගේ තොරතුරු ඉහත ආගමන විගමන දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින්  අනාවරණය කර ගෙන ඇති අතර , එම ළමුන් අතරින් 08 දෙනෙකු යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඉතිරි 05 දෙනා මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති .

මෙම දරුවන් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් ලබා ගෙන , ඔවුන් සමග මුළින්ම මැලේසියාව බලා පිටත්ව යාම සිදු කරති . ඉන් අනතුරුව ඔවුන් මැලේසියානු දරුවන් ලෙස අවශ්‍ය ලියකියවිලි සකස් කර ප්‍රංශය සහ එංගලන්තය වෙත මිනිස් ජාවාරමේ නිරත කරවීම සිදු කරති .

මෙසේ අත් අඩංගුවට ගත් ද්‍රවිඩ ජාතිකයා ශ්‍රී ලංකාවේ සිට මැලේසියාව වෙත දරුවන් රැගෙන ගොස් අවශ්‍ය පහසුකම් සැපයීම සිදු කරමින් කටයුතු කරන පුද්ගලයා වන අතර ශ්‍රී ලංකාව , මැලේසියාව , ප්‍රංශය සහ එංගලන්තය තුළ මෙම මහා මිනිස් ජාවාරමේ ප්‍රබලයන් සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මේ වනවිට අනාවරණය කර ගෙන තිබේ .

දැනට අත් අඩංගුවට ගෙන ඇති මෙම පුද්ගලයා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් සහ තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .

0 comments

Leave a Reply

Post Comment