2024 වසරේ ගත වූ මාස 4 ක කාලය තුල  විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් විශේෂ විමර්ශන අංශය වෙත ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

 කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම් සිදුකිරීම,  වලංගු රැකියා ඇනවුමක් නොමැතිව විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් අය කිරීම, සංචාරක වීසා මගින් තැනැත්තන් විදේශ රැකියා සඳහා යොමු කිරීම ආදී පැමිණිලි කාර්යාංශය වෙත ලැබී ඇත.

 මෙසේ කාර්යාංශය වෙත ලද පැමිණිලි අතුරින් පැමිණි 495 ක් සඳහා විසඳුම් මෙම කාලසීමාව තුළදී ලබාදී ඇති අතර පැමිණිලිකරුවන් ට රුපියල්  53,509,520.00 කමුදලක් යළි අයකර දීමටද විමර්ශන නිලධාරීන් සමත්වී ඇත.  තවත් පැමිණිලි 680කට අධික ප්‍රමාණයක් සඳහා වංචා කරුවන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට ද කාර්යාංශය පියවර ගෙන ඇත.

 මෙම කාලය තුළ විදේශ රැකියා වංචාවන් සම්බන්ධ සැකකරුවන්  28 දෙනෙක් අත්අඩංගුවට  ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය හා වලංගු රැකියා ඇනවුම් ලබා නොගෙන විදේශ රැකියා සඳහා බඳවාගැනීම් සිදුකළ ආයතන  8 ක්ද කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වැටලීම් කර ඇත. 

විදේශ  රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කරන පුද්ගලයන් හා ආයතන වලට එරෙහිව තරාතිරම නොබලා දඬුවම් ලබා දෙන ලෙස කම්කරු හා  විදේශ රැකියා  අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි ද එම කාර්යාංශය  වැඩිදුරටත් පවසයි.

 

0 comments

Leave a Reply

Post Comment