ඇල්ල මලිතගොල්ල ප්‍රදේශයේ පැරණි නායාමක් මේ වනවිට නැවත සක්‍රිය  වී එම තත්වය  වේගවත් වී ඇතැයි ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ උපදෙස් ඇතිව පවුල් දහයකට ආරක්ෂිත ප්‍රදේශයන්ට ඉවත් වන ලෙස දැනුම් දුන් බවද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා අද 26 පැවසීය.

ඇල්ල වැල්ලවාය මාර්ගයේ 16 වැනි කිලෝමීටර් කණුව  අසල මාර්ගයට ඉහළ  විශාල ප්‍රදේශයක  මෙම නායයාම සක්‍රිය  වී තිබේ. 

මෙම ප්‍රදේශය  2019 වර්ෂයේ හඳුනාගත් නාය යාම් අවදානම් කලාපයක් බවත් මේ වන විට දැඩි අවදානම් කලාපයක් බවට මෙම නාය යාම පත් වී ඇති බවත් උදය කුමාර මහතා පැවසීය. 

 දැනට පවතින  තත්වය අනුව ලොකු හානියක් විය හැකි බවට පෙර ලකුණු පෙන්වන බවද ජල පෝෂක ප්‍රදේශයක් ආශ්‍රිතව සක්‍රිය  වී ඇති මෙම නායයාම සමග පොළොව යටින් බොරදිය සහිත උල්පත් ජලය මතුවී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

මේ අවදානම් කලාපය ආශ්‍රිතව ඉවත් කළ  පවුල් දහයක සාමාජිකයින් එම  දැනුම් දීම ගැන එතරම් සැලකිල්ලක් නොදක්වා එම ස්ථානවලම රැඳී සිටීමට උත්සාහ ගන්නා  බවද පැවසේ. 

සක්‍රිය  වී ඇති මෙම නායයාම හා සම්බන්ධ  කෙටිකාලීන  හා දිගුකාලීන  ක්‍රියාමාර්ග ගැනීමේ කටයුතු මේ වන විට සියලු පාර්ශ්වයන් හා සම්බන්ධ කර ගනිමින් ආරම්භ කර ඇති බවද බදුල්ල  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඊ එම් එල්  උදය කුමාර මහතා වැඩිදුරටත් පැවසීය. 

0 comments

Leave a Reply

Post Comment