ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ නායකයින් සාකච්ඡා කර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොදු අපේක්ෂකයා වශයෙන්,රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ නම්,ඔහුට ඔහුට සියයට පන්සියයක්ම සහාය ලබාදෙන බව  ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ, පොළොන්නරුව දිස්ත්‍රික් පා‍ර්ලීමේන්තු මන්ත්‍රි ජගත් සමරවික්‍රම මහතා සඳහන් කළේය.

වැටිලා තිබුණු රට ගොඩ ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා විශාල කැපකිරීමක් සිදුකළ බවත්, රටේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා යම් සාධාරණීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවත්, ජගත් සමරවික්‍රම මහතා 28 වෙනිදා සිරිපුර ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී එලෙස සඳහන් කළේය.

 දිවංගත ජේ.ආර් ජයවර්ධන මහතාගෙන් පසුව මේ රට සංවර්ධනය කිරීමට හොඳ මොලයක් ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට බවද, සමරවික්‍රම මහතා මෙහිදී කීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොදු අපේක්ෂකයා ලෙස අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෝ නාමල් රාජපක්ෂ මහතා බවත්, එය තව නොබෝ දිනකින් තීරණය කිරීමට අදාළ සාකච්ඡා පැවැත්වෙන බවද ජගත් සමරවික්‍රම මහතා කීවේය.

පොහොට්ටුවට හැමෝම කැමති නැති බවත්, අකමැති අය සිටින බවත්, එබැවින් පොදු අපේක්ෂකයා ලෙස බොහෝ දුරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙන්නේ නම් ඒ සඳහා සියයට පන්සියයක් ඔහුට සහය දෙන බවද සමරවික්‍රම මහතා මෙහිදී සඳහන් කළේය.

මේ වනවිටත් රනිල් වික්‍රමසිංහ මහතා ගත යුතු තීරණ රට වෙනුවෙන් රැගෙන ඇති බවත්, රටේත්, ජනතාවගේත්, සංවර්ධනය වෙනුවෙන් කළ යුතු වැඩ නිසියාකාරයෙන් සිදු කරන බවත්, ගම්මානවල සංවර්ධනය උදෙසා එතුමන්ගේ සහයෝගය පසුපෙළ මන්ත්‍රීන්ට ලැබි තිබෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා මෙහිදී වැඩිදුරටත් කීවේය.

මනම්පිටිය නිමල් ජයරත්න
 

0 comments

Leave a Reply

Post Comment