නුවරඑළියේ ස්ථාපිත කිරීමට නියමිත මෙරට පළමු ස්ට්‍රෝබෙරි  වගා ආදර්ශ ගම්මානය සඳහා මෙම මස අවසන් වීමට ප්‍රථම ස්ට්‍රෝබෙරි පැළ ආනයනය කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

වගාව සඳහා ස්වයංක්‍රීයව (Automated)  දුරස්ථ පාලන යෙදවුමක් මගින් ක්‍රියාත්මක කළ හැකි ආරක්ෂිත ගෘහ 40ක් නුවරඑළියේදී මේ වනවිට සකස් කර ඇති අතර එක් ආරක්ෂිත ගෘහයක් තුළ දළ වශයෙන් ස්ට්‍රෝබෙරි  පැළ 300ට වැඩි ප්‍රමාණයක් වගා කිරීමට නියමිතය. 

මේ සඳහා තෝරාගත් ගොවීන් 40 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 30ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සපයනු ලැබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි එක් ගොවියෙකුට රුපියල් ලක්ෂ 13ක පමණ මුදලක් වැය වන අතර, ඉන්  රුපියල් 750,000ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නැවත අය කර ගැනීමකින් තොරව ලබා දීමට නියමිතය.  ඒ අනුව ඉතිරි ලක්ෂ 06ක මුදල අදාල වගාවෙහි නියුතු ගොවීන් විසින් දරනු ලැබේ.

නව තාක්ෂණය යොදාගනිමින් අපනයනය ඉලක්ක කරගත් නව වගා කෙරෙහි ගොවි ජනතාව නැඹුරු කරවීම සඳහා රජය විසින් ආරම්භ කර ඇති වැඩපිළිවෙළ යටතේ මෙම ස්ට්‍රෝබෙරි ආදර්ශ වගා ගම්මානය ආරම්භ කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.  

 

0 comments

Leave a Reply

Post Comment