ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයකට අයත් බව පැවසෙන රුපියල් කෝටි විස්සකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ හතයි ග්‍රෑම් හැටක්  සමග පුද්ගලයෙකු (27) දා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු කටුගස්තොට ප්‍රදේශයේ සිට මහරගම නාවින්න සමගි මාවත ප්‍රදේශයට මීට මාස තුනකට පමණ පෙර පැමිණ එහි නිවසක් රුපියල් 45,000 මාසික කුලී පදනම මත ලබාගෙන හෙරොයින් ජාවාරම ජයටම කරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

මෙම වැටලීම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට සමගාමීව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව පිහිටුවන ලද සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීමේ  විශේෂ කණ්ඩායමේ පොලිස් පරීක්ෂක වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව සිදුකර තිබුණි.

එහිදී මහරගම නාවින්න සමගි මාවත ප්‍රදේශයේ නිවසක් වටලා පරීක්ෂා කිරීමේදී එහි ඇදක් යට සැක කටයුතු ලෙස සගවා තිබූ ගමන් මල්ලක් විවෘත කර බැලීමේදී ඒ තුළ සැකකටයුතු පාර්සල් කිහිපයක් තිබෙනු දැක පසුව එය පරීක්ෂා කිරීමේදී ඒ තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය තිබෙන  බවට අනාවරණය වී තිබේ. ඒ අනුව එම මත්ද්‍රව්‍ය තොගය කිරා මැන බැලීමේදී ඒ තුළ හෙරොයින් කිලෝ හතයි ග්‍රෑම් 60 ක් තිබූ බවත් එහි වටිනාකම රුපියල් කෝටි විස්සකට අධික බවත් පොලිසිය කියයි.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය ඩුබායි රාජ්‍යයේ සැගව සිටින ප්‍රියන්ත නැමැත්තකු තමාට දුරකතනයෙන් අමතා මෙම මත්ද්‍රව්‍ය තොගය ලබාදුන් බවත් පසුව  ඒවා ඔහුගේ දුරකථන උපදෙස් මත ස්ථාන රැසකට බෙදා හැරීමට නියමිතව තිබූ බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ.

ඒ වෙනුවෙන් සැකකරුට රුපියල් ලක්ෂයක කොමිස් මුදලක් ලබාදීමට පොරොන්දු වී තිබූ බවද පැවසේ.

සැකකරු අධික ලෙස කැසිනෝ සූදුවට ඇබ්බැහි වූ අයෙකු බවට කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබේ.

 අත්අඩංගුවට ගැනීමෙන් පසුව  සැකකරු සිදුකරන ප්‍රකාශ පරස්පරතා පවතින නිසාත් මෙම මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට අවශ්‍ය නිසාත් සැකකරු (28) දා   නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කොට දින හතක රඳවා ගැනීමේ නියෝග ලබා වැඩිදුර විමර්ෂණ සිදුකිරීමට නියමිත බව පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  කටුගස්තොට ප්‍රදේශයේ ස්ථිර පදිංචි (45) හැවිරිදි පුද්ගලයෙකි.

0 comments

Leave a Reply

Post Comment