එක්තරා යුගයක් පුරාවටම පරිගණක ලෝකයේ ආධිපත්‍යය දැරුවේ ජංගම හැකියාවක් නොමැති ඩෙක්ස්ටොප් පුද්ගල පරිගණක යැයි කීම සාවද්‍ය නොවේ. ලෝකය පුරා ලැප්ටොප් පරිගණක ප්‍රචලිත වීම ආරම්භ වුවත් ඩෙක්ස්ටොප් පරිගණකයන්ට තිබුණු තැන එලෙසින්ම ආරක්ෂා වුණි. එයට ප්‍රධානතම හේතුවක් වූයේ ආරම්භයේදී ලැප්ටොප් උපාංගයන් සාපේක්ෂව මිලෙන් අධික වීමත්, ශක්‍යතාවයන්ගෙන් අඩු වීමත් යැයි කිව හැක.
කෙසේ නමුත් මුලින්ම පුද්ගල පරිගණකයක් ගන්නට සිතන්නෙකු ලැප්ටොප් නැතිනම් නෝට්බුක් පරිගණකයක් සම්බන්ධයෙන් සලකා බලන තරමට මේ වනවිට කාලය වෙනස් වී තිබේ. එක් එක් අවශ්‍යතාවයන්ට ගැළපෙන, ඒ අනුව ඉතා අඩු මිල ගණන් වල සිට ඉහළට විහිදෙන මිල පරාසයක් ඇති ලැප්ටොප්/නෝට්බුක් පරිගණක මේ වනවිට වෙළෙඳපොළේ තිබේ. කෙසේ නමුත් ලැප්ටොප් සහ නෝට්බුක් පරම්පරාවන්ට පසුව ටැබ්ලට් උපාංගයන් ප්‍රචලිත වීමද ඇරඹුණු බව කිව යුතුවේ.
මේ වනවිටද බොහෝ දෙනෙකු ටැබ්ලට් උපාංග භාවිතා කළත්, ගැටළුව වන්නේ නෝට්බුක් පරිගණකයකින් වඩා පහසුවෙන් කළ හැකි යම් යම් දෑ ටැබ්ලට් උපාංගයක් හරහා ඉටුකරගැනීම අපහසු වීමත්, ස්පර්ෂ තිර ටැබ්ලට් උපාංගයකින් යම් යම් කාර්යයන් සඳහා සැලසෙන පහසුව නෝට්බුක් හෝ ලැප්ටොප් උපාංගයකින් නොලැබීමත් වේ. නෝට්බුක් පරිගණකයක සහ ටැබ්ලට් උපාංගයක දෙමුහුමක් ලෙසින් එළිදුටු 2-in-1 උපාංගයන් ශීඝ්‍රයෙන් ප්‍රචලිත වීමට ප්‍රධාන හේතුවක් වන්නේ මෙම කරුණ යැයි සිතිය හැක.
මේ වනවිට ලෝකයේ ප්රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් බොහෝමයක් පාහේ රැල්ලට යමින් තම දෙමුහුම් 2-in-1 උපාංගයන් වෙළෙඳපොළට හඳුන්වා දීමට උත්සුක වෙමින් සිටී. අපගේ සූදානම වන්නේ 2017 වසරේ හොඳම 2-in-1 උපාංග කිහිපයක් ලැයිස්තු ගත කිරීමටයි.
වසරේ හොඳම තේරීම - HP Spectre x360
ඉතාම සුන්දර නිමාවක් සහ සිහින් හැඩයක් සහිත, එහෙත් ප්‍රබල ශක්‍යතාවයන්ගෙන් යුක්ත HP Spectre x360 උපාංගය නිරනුමානවම මෙම වසර සඳහා විශිෂ්ටතම උපාංගය ලෙසින් නම් කිරීමේ වරදක් නොමැත. HP සමාගම මගින් මෙහි තෝරාගැනීම් කිහිපයක්ම ඉදිරිපත් කොට තිබේ. මෙහි ඇති Intel 7th-Gen මධ්‍යම සැකසුම් ඒකකයත්, ප්‍රබල ස්පීකර හතරක ශ්‍රව්‍ය ප්‍රතිදාන පද්ධතියත්, පහසු යතුරු පුවරුව සහ පුළුල් ටච්පෑඩයත්, ඉහළ ගුණාත්මක භාවයක දසුන් ලබාදිය හැකි තිරයත් මෙන්ම USB-A සහ USB-C යන පෝට් වර්ග දෙකම පැවතීමත් HP Spectre x360 උපාංගය තෝරාගැනීමට කරුණු ලෙසින් දැක්විය හැක. මෙය Tent mode, Stand mode, Tablet mode, Notebook mode යනුවෙන් ආකාර හතරකට භාවිතා කළ හැක. කෙසේ නමුත් මෙහි SD/MicroSD කාඩ් රීඩරයක් නොමැති බව කිව යුතුවේ.
හොඳම නිමාව - Dell XPS 13
විශිෂ්ටතම නිමාවක් සහිත 2-in-1 උපාංගය තෝරන්නේ නම් ඒ තැන Dell XPS 13 උපාංගයට ලබාදීමට සිදුවනු ඇත. අඟල් 13 ක තිරයක් සහ භාවිතයට අතිශයින් පහසු යතුරු පුවරුවක් සහිත මෙහි සුපැහැදිලි දසුන් ගෙන එන InfinityEdge තිරයක් ඇත. එසේම ඔබට වඩාත් ඉහළ සැකසුම් වේගයක් අවශ්‍ය වූ විට Dynamic Power Mode ආකාරය භාවිතා කිරීමටද හැකියාව ඇත. කෙසේ වුවත් මෙහි බැටරි බලය සම්බන්ධයෙන් පරිශීලකයින් බොහෝ දෙනෙකු සෑහීමකට පත්ව නොමැති බවද කිව යුතුවේ. එනමුත් මෙහි සිහින්, සැහැල්ලු නිමාව සහ carbon fibre මතුපිට සමගින් මෙය වඩාත් ජංගම සහ වඩාත් සුන්දර 2-in-1 තේරීමක් වනු ඇත.
අඩු මිලකට වැඩි වටිනාකම - Acer Aspire R 15
නෝට්බුක් උපාංග තේරීමේදීද Acer වෙළෙඳ නාමය යටතේ ඔබට අඩු මිලකට හොඳ හැකියාවක් ඇති උපාංගයන් දැකගැනීමට හැක. මෙම වසරේ 2-in-1 උපාංග සැලකීමේදීද එය එසේම වේ. Acer Aspire R 15 යනු වර්ණවත් දසුන් ලබාදෙන තිරයක්, හොඳ දෘඩාංග ශක්‍යතාවයක් සමගින් භාවිතයට පහසු, ජංගම උපාංගයක් ලෙසින් හැඳින්විය හැක. මෙහි දෘඩ තැටිය සාපේක්ෂව මන්දගාමී වීම සහ තිරය වැඩි ආලෝක තත්වයන් යටතේ දිලිසෙන සුලු වීම සම්බන්ධයෙන් පරිශීලකයන් විසින් පැමිණිලි කළද, අඩුම මුදලකට වැඩි වටිනාකමක් එක් කරනා 2-in-1 උපාංගය ලෙසින් අපගේ තෝරාගැනීම වන්නේ මෙයයි.
නිර්මාණකරුවන් සඳහා - Microsoft Surface Book
ග්‍රැෆික් නිර්මාණකරුවන්, ත්‍රිමාණ සජීවීකරණ ශිල්පීන් වැනි නිර්මාණශීලී වෘත්තියක යෙදෙන, වැඩි ග්‍රැෆික් බලයක් සහිත 2-in-1 උපාංගයක් අවශ්‍ය කරනා අය සඳහා අපගේ නිර්දේශය වන්නේ Microsoft Surface Book උපාංගයයි. මෙහි අඟල් 13 ක තිරයක්, වෙන් කළ හැකි යතුරු පුවරුවක් සහිත නිමාව මෙන්ම ප්‍රබල ග්‍රැෆික් ප්‍රොසෙසරයද මෙම තෝරාගැනීම සඳහා දායකත්වය ලබාදේ. එසේම ඉහළ ගුණාත්මක මට්ටමක තිරය සහ මට්ටම් 1024 ක සංවේදීතාවයකින් යුතුව ස්ටයිලස් උපාංගයක් භාවිතා කිරීමට ඇති හැකියාවද සමගින් මෙය නිර්මාණකරුවෙකු හට අවශ්‍ය කරනා උපරිම සහාය ලබාදීමට සමත් වේ. කෙසේ වුවත් මෙය සාමාන්‍ය පරිශීලකයෙකුට හොඳ ආයෝජනයක් නොවන්නේ මෙහි මිල ඉහළ පරාසයක පැවතීම නිසාවෙන්ම වේ.