ඔබ රූපවාහිනිය බලමින් සිටින විටකදී ඔබට ඇසෙනා මියුරු ගීතයක් නැතිනම් පසුබිම් සංගීතයක් හඳුනාගැනීමට ඔබ උත්සාහ දරා තිබෙනවාද? මෙවැනි මොහොතකදී ඔබට එම ගීතයේ හෝ සංගීත ඛණ්ඩයේ නම දන්නේ නම් පහසුවෙන්ම අන්තර්ජාලය පිරික්සා එය සොයාගැනීමට හැකියාව ලැබෙනු ඇත. එනමුත් අසීරුම කර්තව්‍යය වන්නේ පසුබිමින් ඇසෙනා ගීතයක හෝ සංගීත ඛණ්ඩයක නම සොයා ගැනීමය. මෙම ලෝ ප්‍රකට 'Shazam' යෙදුම ඔබේ සහයට පැමිණෙනු ඇත්තේ එවිටය.
මේ වනවිට ඩවුන්ලෝඩ් කිරීම් මිලියන තුනකට ආසන්න වෙමින්, ලෝකයේ ජනප්‍රියතම යෙදුම් අතර රැඳී සිටින 'Shazam', සෑම මාසයකම මිලියන සිය ගණනක් වූ ජනතාව භාවිත කරන්නේ කොහේදී හෝ අසන්නට ලැබෙන, තමන් නොදන්නා විවිධ ගීත හඳුනාගැනීමටත් එසේම අන්‍යයන් එසේ හඳුනාගන්නා ගීත මොනවාදැයි කියා සොයා බැලීමටත්ය. මෙහි විශේෂත්වය වන්නේ එය සම්පූර්ණයෙන්ම නොමිලේ ලැබෙන සේවාවක් වීමය.
සරල පරිශීලක අතුරු මුහුණතකින් යුක්ත වන 'Shazam' භාවිත කිරීම අතිශයින්ම පහසුය. ඔබ කළ යුත්තේ 'Shazam' යෙදුම විවෘත කළ පසුව තිරයේ පැමිණෙන වර්චුවල් බොත්තම ඔබා ස්මාට්ෆෝනයේ මයික්‍රෆෝනය, ගීතය හෝ සංගීත ඛණ්ඩය වාදනය වන උපාංගය හෝ මූලාශ්‍රය ආසන්නයෙන් තැබීමය. කෙතරම් හොඳින් එම නාද රටා ග්‍රහණය කරගැනීමට ඔබේ ස්මාට්ෆෝනයේ මයික්‍රෆෝනය සමත්වන්නේද යන්න එහිදී දැක්වෙනු ඇත. ගීතය 'Shazam' යෙදුම මගින් ශ්‍රවණය කොට තත්පර ගණනාවක් ඇතුළතදී එම ගීතයේ නම මෙන්ම යූටියුබ් වෙතින් එය ශ්‍රවණය කිරීමට සබැඳියක්ද ඔබට සපයනු ඇත.
මෙම යෙදුමේ හැකියාවන් මෙතනින් අවසාන නොවේ. එයින් ඔබට එක් ස්පර්ෂයකට එහායින් තිබෙන වීඩියෝ ක්ලිප, ගීත පදමාලා මෙන්ම යම් යම් ගීත හා බැඳි වෙනත් ගීත පවා ප්‍රවේශ වීමේ ඉඩකඩ ලැබෙනු ඇත. එසේම 'Shazam' යෙදුම ස්ථාපනය කොට ඇති ඔබේ සියලුම ස්මාට් උපාංග හා සම්බන්ධ වෙමින්, ඔබ එක් උපාංගයකින් සෙවුම් කරන ගීතයක් අනෙක් ඕනෑම උපාංගයක් තුළින්ද විවෘත කර බැලීමේ ඉඩ ලබාදෙනු ඇත.
ඔබට 'Shazam' සමගින් එන ප්‍රධානතම සේවා නොමිලයේ ලබාදුන්නද, මුදල් ගෙවා ලබාගත හැකි සුවිශේෂ සේවා රැසක්ද 'Shazam' වෙතින් පිරිනැමේ. එසේම ඔබ කැමති ගීත Google Music වෙතින් ක්ෂණයකින් මිලදී ගැනීමට පවා පහසුකම් සපයා තිබේ. මේ සියල්ලටම අමතරව සමාජ ජාලයකට ආසන්න ආකාරයකින් ක්‍රියාත්මක වෙමින්, 'Shazam' භාවිත කරන්නන්ගේ ප්රජාවක්ද නිර්මාණය කෙරී ඇති අතර, ඔබටද ඒ හා සම්බන්ධ වෙමින් ලෝ පුරා වෙනත් අය විසින් 'Shazam' භාවිතයෙන් සොයාගන්නා ගීතයන්ට හා සංගීත ඛණ්ඩයන්ට සවන්දීමේ හැකියාව තිබේ.
goo.gl/b9deKv