සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ද.අප්‍රිකාවේ ඩර්බන්හිදී පැවැත්වේ. නවසීලන්ත කණ්ඩායම හමුවේ මෙන්ම ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේද ලද ටෙස්ට් ක්‍රිකට් තරග පරාජයන්ගෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණදීමට සිදුව ඇත්තේද එවැනිම අපහසු තරගාවලියකටයි.
නවසීලන්තයේදී මෙන්ම ඔස්ට්රේලියාවේදීද ලද තරගාවලි පරාජයන් නිසා ලකුණු අතර නොසිටීම හේතුවෙන් චන්දිමාල්ට ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය මෙන්ම කණ්ඩායමේ ස්ථානයද අහිමි විණ. ඒ හේතුවෙන් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිමුත් කරුණාරත්නට හිමි විණ. එබැවින් නව නායක දිමුත් පිතිකරුවෙකු ලෙස මෙන්ම නායකයෙකු ලෙස කටයුතු කරන්නේ කෙසේද යන්න මෙම තරගාවලියේදී අපට දැක ගැනීමට හැකි වනු ඇත.
ඩර්බන් පිටිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිතකර පිටියකි. මන්ද ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා ඩර්බන් පිටියේදී ටෙස්ට් ක්‍රිකට් තරගයක් පරාජයට පත්ව නොමැති බැවිනි. තවද ඩර්බන් පිටියේ වේගය ක්‍රම ක්‍රමයෙන් අඩු වී ඇති බැවින් දඟ පන්දු යවන්නන්ට වැඩි යමක් කළ හැකි පිටියකි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මුරලි මෙන්ම හේරත්ද මෙම පිටියේදී දක්ෂතා දක්වා ඇත. එමෙන්ම 2011 වසරේදී සිදුකළ ද.අප්‍රිකානු සංචාරයේදී ඩර්බන් ටෙස්ට් තරගය ලකුණු 208කින් ජය ගන්නට තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විණ. එහෙයින් මෙම තරගයේදීද දිමුත්ගේ වාසනාව සමගින්, ලක්ෂාන් හෝ ඇඹුල්දෙණිය සාර්ථක වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට යමක් කළ හැකිය. ඒ ද.අප්‍රිකානුවන් සාමාන්‍යයෙන් වමත් පා දඟ පන්දු යවන්නන් හමුවේ පීඩනයට හසුවන බැවිනි.
චන්දිමාල්, දිල්රුවන්, නුවන්, රොෂේන් සහ දුෂ්මන්ත වෙනුවට කණ්ඩායමට කැඳවූ ඕෂධ ප්‍රනාන්දු, ලසිත් ඇඹුල්දෙණිය, ඇන්ජලෝ පෙරේරා, මොහොමඩ් ශිරාස් සහ මිලින්ද සිරිවර්ධන අතරින් ඇන්ජලෝට අද ටෙස්ට් වරම් හිමිවීමට වැඩි අවස්ථාවක් පවතී. එමෙන්ම චන්දිමාල්ගේ සහභාගිත්වයක් නොමැති බැවින් අංක තුන ස්ථානයේ ධනංජය ද සිල්වා ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් තිබුණද අප විශ්වාස කරන්නේ ඒ අවස්ථාව ඕෂධ ප්‍රනාන්දුට හිමි විය යුතු බවයි. මන්ද අංක 3 ස්ථානයේ ක්‍රීඩා කිරීමට මේ වනවිට අපට සිටින සුදුසුම පිතිකරුවා ඕෂධ බැවිනි. යම් හෙයකින් ඕෂධට අද තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුවහොත් එය ඔහුගේ පළමු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගය වේ. එමෙන්ම අද තරගයේදී කුසල් පෙරේරා අංක 5 ස්ථානයේත්, ටෙස්ට් වරම් හිමිකර ගැනීමට වැඩි අවස්ථාවක් පවතින ඇන්ජලෝ අංක 6 ස්ථානයේත් ක්‍රීඩා කරවනු ඇතැයි විශ්වාස කළ හැක.
පාකිස්තානු කණ්ඩායමට එරෙහිව සාර්ථක ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් නිමාකළ ද.අප්‍රිකානුවන් සූදානමින් සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමද පරාජයට පත් කරමින් සිය ජයග්‍රාහී රිද්මය තවදුරටත් පවත්වාගෙන යෑමටය. එමෙන්ම ද.අප්‍රිකානුවන් අවසන් වරට ශ්‍රී ලංකාවේ සිදුකළ තරග සංචාරයේදී අත්විඳි පරාජයන්ගේ වාඩුව ගන්නටද ද.අප්‍රිකානුවන් සුදානමින් සිටියි. එහෙයින් ශ්‍රී ලංකා කණ්ඩායම ඩර්බන් පිටියේදී බොහෝ සෙයින් පාලනය කර ගත යුත්තේ කේෂව් මහාරාජ්‍ය. මන්ද ඩර්බන් තණතීරුව වමත් පා දඟ පන්දු යවන්නෙකු වන මහාරාජ්ගේ පන්දු යැවීමට වඩාත් උචිත තණතිල්ලක් බැවිනි. එමෙන්ම හෂීම් අම්ලා, ෆෆ් ඩුප්ලසිස්, ඩීන් එල්ගා, ටෙම්බා බවුමා සහ කුයින්ටන් ඩි කොක් වැනි ලොව පිළිගත් පිතිකරුවන් එකවර සාර්ථක වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ගැලවීමක් නම් නොමැත.
අද තරගය මෙරට වේලාවෙන් 1.30ට ආරම්භ වීමට නියමිතය.