ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයට සහභාගීවීමට ශ්‍රී ලංකාවේ ප්‍රධානම දඟ පන්දු යවන්නා වන රංගන හේරත් ඊයේ (29දා) රාත්‍රියේ නවසීලන්තය බලා දිවයිනෙන් පිටත්ව ගියේය.
පෞද්ගලික හේතුවක් මත රංගන හේරත් පළමු ටෙස්ට් තරගයට සහභාගී නොවූ අතර, ඒ හේතුවෙන් තරිඳු කෞෂාල් එම ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම දඟ පන්දු යවන්නා ලෙස කටයුතු කළේය. නමුත් ඔහුගෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට නොහැකිවිය.
කෙසේ නමුත් හේරත් නවසීලන්තයට එරෙහිව නවසීන්තයේදී සහභාගී ඇත්තේ එක් ටෙස්ට් තරගයකට පමණක් වන අතර, එයද 2005 වසරේදීය. එම තරගයේදී ඔහු කඩුලු 03 බිඳහෙළා ඇත. ඒ අනුව වසර නවයකට පසු නවසීලන්තයේ තරග සංචාරක නිරතවන හේරත්ටද එරට තණතීරු තුළ පන්දු යැවීම අභියෝගයක් වනු ඇත.
හේරත් නවසීලන්තයට එරෙහිව සමස්ත ටෙස්ට් තරග හතරකට (ඉනිම් 8) ක්‍රීඩාකර ඇති අතර, එහිදී කඩුලු 31 ක් බිඳහෙළා ඇත. එහි කඩුල්ලක් දවාගැනීමේ සාමාන්යතාව 19.58 ක් වේ. 2012 වසරේ ගාල්ලේ පැවැති තරගයකදී ලකුණු 43කට කඩුලු 06 ක් දවාළීම හේරත් නවසීලන්තයට එරෙහිව දක්වා ඇති හොඳම ටෙස්ට් පන්දු යැවීම වේ.
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැති එක්දින තරගාවලිය අතරතුරේදී හේරත් ආබාධයකට ලක්වූ අතර, ඒ හේතුවෙන් ඔහුට එංගලන්ත තරගාවලියේ ඉතිරිව තිබූ එක්දින තරග දෙක අහිමි විය. කෙසේ නමුත් ඔහුගේ ආබාධ තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන් සුවවී ඇති බව අප කළ විමසුමකදී හේරත් පවසා සිටියේය.
අන්තර්ජාතික ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවන හේරත්, මෙම වසරේ ටෙස්ට් තරග 10කට (ඉනිම් 20) ක්‍රීඩාකර කඩුලු 60 බිඳහෙළා ඇති අතර, එය මෙම වසරේ පන්දු යවන්නෙකු දක්වා ඇති ඉහළම දක්ෂතාව වෙයි.