පාකිස්තානය තරම් ශ්‍රී ලංකාව සමග ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් මෑත කාලයේදී සොයාගත නොහැකි තරම්ය. ශ්‍රී ලංකාව, පාකිස්තානය හෝ මැදපෙරදිගදී දෙරට නිරන්තරයෙන් මුණගැසෙයි. දෙරට අතර අවසන් වතාවට මැදපෙරදිග පැවැති තරගාවලිය ඉතා තීරණාත්මක වූ අතර, තරගාවලියේ අවසන් ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව පරාජයට පත් වූයේ මිස්බා ඉගැන්වූ මතක හිටින පාඩමක් සමගිනි.
මේ නිසා අද ගාල්ලේදී එතැන් සිට ඇරඹීමට කණ්ඩායම් දෙකම උත්සාහ කරනු නොඅනුමානය. පාකිස්තානය ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරන්නේ අප මතක් කළ තරගයෙන් පසුව මාස හයකට වැඩි කාලයකට පසුවය.
සුනාමියෙන් පසු ගාල්ලේදී මේ කණ්ඩායම් දෙක දෙවාරයකදී හමු වී ඇති අතර, එම දෙවාරයේදීම ජයග්‍රහණය හිමිවූයේ ශ්‍රී ලංකාවටය. මේ නිසා ගාල්ලේදී ශ්‍රී ලංකාව යම් විශ්වාසයකින් ක්‍රීඩාකරනු ඇත. එහෙත් මේ විශ්වාසය උපරිමයට එන්නේ කාසියේ වාසිය දිනාගන්නේ නම් බව කිවහැකිය. දකුණු අප්‍රිකාව මෙන් දඟපන්දු යවන්නන් පමණක් යොදවා මෙල්ලකිරීමට අපහසු පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ඇති වෙනස නම් ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 06 ක් පසුගිය කාලයේ ක්‍රීඩා කර තිබීමය.
කුමාර් සංගක්කාර පාකිස්තානයට එරෙහි සාර්ථකම ශ්‍රී ලංකා පිතිකරුවා වෙයි. පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවැති ටෙස්ට් තරග 08කදී ශතක 04 ක් සහ අර්ධ ශතක 04 ක් සමගින් ලකුණු දහස ඉක්මවා ඇති සංගක්කාර එක් ඉනිමක සාමාන්‍යය 92.41 ක් ලෙස පවත්වාගෙන යයි. මේ නිසා සංගක්කාර මේ තරගයේදී ලකුණු අතරට පැමිණීමට ඇති ඉඩකඩ වැඩිය. මහේල තමන්ගේ දෙවැනි ප්‍රියතම ක්‍රීඩාංගණයේ මුහුණදෙන අවසන් ටෙස්ට් තරගය සාර්ථක කරගැනීමට උපරිම උත්සාහය යොදනු ඇත.
යළිත් මේ ක්‍රීඩකයන් දෙදෙනා වටා ඉනිම ගොඩනැගීමට ඇති ඉඩ වැඩිය. පාකිස්තානයට එරෙහිව සාර්ථක වීමට තිරිමාන්නට වැඩි අවස්ථාවක් තිබේ යැයි තේරීම් කමිටුව වශ්වාස කළද අද තරගයට කිත්රුවන් විතානගේ ක්‍රීඩා කිරීම ස්ථිර බව ඊයේ අනාවරණය විය. අජ්මාල් සහ අබ්දුර් රෙහෙමාන් යන දෙදෙනාම සිටින නිසා අනවශ්‍ය ලෙස දඟකැවෙන තණතිල්ලක් නිර්මාණය වනු ඇතැයි විශ්වාස කළ හැකිය.
ජනවාරියේ අවසන් වූ මැදපෙරදිග සංචාරයේදී සයීඩ් අජ්මාල්ට අනවශ්‍ය ලෙස කඬුලු නොදීමට ශ්‍රී ලංකාවට හැකිවුවත් මේ තරගාවලියේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දවාගැනීමට සැලසුම් ඔහු සතුව තිබෙන්නට හැකිය.
2006 වසරෙන් පසුව පාකිස්තානය මෙතෙක් ශ්‍රී ලංකාවේදී ජය ලබා ඇත්තේ එක් තරගයක් පමණි. මේ නිසා පාකිස්තානයට යමක් කිරීමේ අවශ්‍යතාව තිබේ. එහිදී මිස්බා විශාල සාධකයක් වන අතර, කුරාම් මන්සූර් සහ අසාර් අලී යන ක්‍රීඩකයන් දෙදෙනා ගැන අවධානයෙන් සිටිය යුතුය. මේ තරගයට බොහෝ විට අසාද් ශාෆික් වෙනුවට උමාර් අක්මාල් ක්‍රීඩා කිරීමට ඉඩ තිබේ. එයද මැදපෙළ වේගවත් ලකුණු ලැබීමට හේතුවක් වනු ඇත.
හේරත් සාධකය සහ ශ්‍රී ලංකාවට කොතරම් වැදගත් යන්න අමුතුවෙන් කිවයුතුව නැත. පසුගිය මාස 07 තුළ ලෝකයේ වැඩිම පන්දු ඕවර ගණනක් යැවූ පන්දු යවන්නා වන හේරත් පාකිස්තානයට එරෙහිව යමක් කරන, එසේ කරන්නට කැමති ක්‍රීඩකයෙකි. දිල්රුවන් නියම පරීක්ෂණයට ලක්වන්නේ මේ තරගාවලියේදීය. ඔහු පරීක්ෂණය සමත්වන්නේ නම් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් ගැන සිතීම අපහසු කාර්යයක් නොවේ.
පාකිස්තානයේ දඟපන්දු යවන්නන් දෙදෙනා ප්‍රධාන තර්ජනය ලෙස පෙණුනද ජුනයිඩ් ඛාන්ගේ දායකත්වය අමතක නොකළ යුතුව තිබේ. මළ තණතිලිවල පන්දුවට ජීවය ගෙනෙන ජුනයිඩ් ඛාන් 2012 ශ්‍රී ලංකා සංචාරයේදී තරග 03කදී කඬුලු 14 ක් දවාගත්තේය. මේ නිසා අජ්මාල් හසුරුවාගත හැකිනම් තර්ජනය වන්නේ ජුනයිඩ් ඛාන් බව ශ්‍රී ලංකාව සිහි තබාගෙන කටයුතු කළ යුතුව තිබේ. සුරංග ලක්මාල්ගේ ආබාධ නිසා අද දිනයේ ධම්මික ප්‍රසාද් සහ ශමින්ද එරංග සමග ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාව යොමුවීමට ඇති වැඩිය. එහෙත් ප්‍රදීප් හෝ ප්‍රසාද් යන දෙදෙනා ගැන අවසන් මොහොතේ තීරණයක් ගනු ඇතැයි විශ්වාස කළ හැකිය.
ක්‍රීඩා කළ හැකි කණ්ඩායම්
ශ්‍රී ලංකාව
1.උපුල් තරංග 2. කෞෂාල් සිල්වා 3. කුමාර් සංගක්කාර 4. මහේල ජයවර්ධන 5. ඇන්ජලෝ මැතිව්ස් 6. කිත්රුවන් විතානගේ 7. නිරෝෂන් දික්වැල්ල 8. දිල්රුවන් පෙරේරා 9.රංගන හේරත් 10. ධම්මික ප්‍රසාද් 11. ශාමින්ද එරංග
පාකිස්තානය
01 කුරාම් මන්සූර් 2. අහමඩ් ශෙෂාඩ් 3. අසාර් අලි 4. යුනිස් ඛාන් 5. මිස්බා උල් හක් 6. අසාද් ෂාෆික්/අක්මාල් 7. සෆ්රාස් අහමඩ් 8. අබ්දුර් රෙහෙමාන් 9. ජුනයිඩ් ඛාන් 10. සයීඩ් අජ්මාල් 11. මොහොමඩ් තලා